2009/11/30

Angles of 3D Building




සැලකිය යුතුය. ප්‍රායෝගික හේතුන් මත ඡායා රූපවල ගුණාත්මක බව පහල දමා තිබේ.

2009/11/25

ඔබ විවාහ වන ව‍යසේද? එහෙනම් මේකත් කියවන්න.

ඔබ විවාහකයෙක්ද? ඔබ විවාහ මංගල්‍යය ජයටම ගත්තද? ඔබ කුකලන් කී දෙනෙක් බිලි දුන්නාද? ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද? ඔබ කුකුලන් කී දෙනෙක් බිලි දීමට බලාපොරොත්තු වන්නේද? ඔබේ ෆන් එකට අහිංසක කුකුල්ලු බයිට් ද?

කුකුලා අහිංසක සතෙකි. කුකුලන්ගේ ප්‍රධාන සතුරා කලවැද්දාය. නරියද ඉදහිට සතුරුකම් කරන්නේය. ඒ වුනාට මිනිසා තරම් කුකුලට සතුරු කම් කරන එකදු සතෙක් වත් නැත. මිනිසාගේ ප්‍රධාන මාංශ ආහාරය කුකුලන්ය. කුකුලකු හීනෙන් දැක්කත් කොට්ටය තෙමෙන්නම කෙල හලන්නේය. ඒ තරමටම අපේ ඇත්තන් කුකුලන්ට පෙරේතය. මේ තරම්ම මිනිසුන් කුකුල් මසට ලොබ ඇයි දැයි සහෘදයට තේරුම් නැත.

විවාහ මංගල්‍යයක් කීවොත් ඉතින් හදන බඩු ලිස්ට් එකේ උඩින්ම ලියවෙන්නේ කුකුලන්ගේ කිලෝ බරය. ඔබ ලොකුවට ගන්න යන්නේ ඇත්තටම විවාහ මංගල්යලයක්ද බිලි පූජා දෙන තොවිලයක් ද? තොවිලයක් කීවොත් ඉතින් එන පෙරේත කුම්භාන්ඩයන්ට බිල්ලක් නොදී දෙන ලෙඩ දුක් අන වින නැති කරගන්න බැහැය කියන වනේ. ඉතින් කෝකටත් හෙනරාජ තෛලේ වගේ කුකුලගේ කරුමේ. ඔබේ විවාහ උත්සවයට ඔබ ආරාධනා කරන්නේ කුම්භාන්ඩයන්ටද? නැතිනම් කුකුල් පෙරේතයන්ටද?

ස්වභාව ධර්මයට අනුවද ජෛව විද්‍යාවට අනූවද තව සතෙක් තව සතෙකුගේ ආහාරයෙකි. සැබෑය මිනිසාද සතෙකි. හැබැයි ආධ්‍යාත්මක ධර්මයන්ට අනුව නම් සත්ව ඝාතනයන්ට විරුද්ධය. "ආධ්‍යාතත්මක ධර්මයන්ට අනුව ඉතින් සියළු දේ සිතුවහොත් කන්න වෙන්නේ පස් තමයි". ඒ තමයි කුකුල් පෙරේතයන්ගේ ප්‍රධාන සටන් පාඨය. ගෞතමයන් වහන්සේද ආහාරය පිණිස මාංශ අනුබවය අකැපයි කියා නැත. නමුත් ප්‍රාන ඝාතනය අකුසලයක් ‍ලෙසත් ඒ පවු ගොනු බැදි රියසක මෙන් පසු පස එන බවත් පෙන්වා දුණි. උන්වහන්සේද සූකර මාංශ වැලදුවේය. ඒ මාංශ පෙරේතකමකට නම් නො‍වේය. ඒ දන් පිනිස පිලිගැන් වූ යමක් ප්‍රතික්ෂේප කිරීම නොමනා නිසාය. ඒ වගේම ඒ පවු එදිනම පල දී දරුණූ උදර රෝගයකට උන්වහන්සේ මුහුණ පෑවේය. (එම දහම් කථාව නොදත් අන්‍ය ආගමිකයෙක් වෙතොත් ඒ පිළිදව දන්නා අයෙක්ගෙන් අසා දැනගත්වා)

පවු පින් කෙසේ වෙතත් මෙලොව ජීවත්වන හැම ජීවියෙකුටම ස්වාධීනව ජීවත් වීමට අයිතියක් ඇති බව උසස් චින්තනයක් ඇති මනුස්සයා නම් සතා දනී. අන් සතුන්ට වඩා ද අවුරුදු දහස් ගනනකට පෙර සිටි මිනිසුන්ට වඩා ද වර්තමාන මිනිසා බුද්ධිමත්ය. ඉතින් මිනිසාගේ ආහාරය පිනිස ඕනෑ තරම් ගස්ගෙඩි ද ඵල වැල ඇත්නම් තවත් කුමට අහිංසක සතුන් මරන්නේද? ආහාර අහේනියක් හෝ ආහාරය පිනිස වෙන විකල්පයක් ඇත්තෙම නැතිනම් මෙවැනි මාංශ විකල්පයකට යා යුතුවෙයි. එවිට ආධ්‍යායත්මක ධර්මය දෙවැනි වී ස්වභාව ධර්මය පෙරට ඒය.

නමුත් ඔබට ආහාර අහේනියක් නැත. කුකුලන් ද අනෙකුත් මාංශයන්ගෙන්ද ‍තොර ඉතාම උසස් විවාහ මංගල්‍යයක් ඔබට ගනු හැකිය. ඒ සදහා ඕනෑ තරම් ප්‍රණිත ආහාර ඇත. එසේ ඕනෑතරම් ආහාර තිබියදීත් ඔබ ඔබගේ ප්‍රීතිය තකා අහිංසක කුකුලන්ගේ පිළිගද මස් ගොබ ඔබගේහිතවතුන්ගේ කුසට ඔබන්නේද? ඔබගේ විවාහය ට කුකුලන් බිලිදිය යුතුමද? ඔබගේ බෝතලේට කුකුලා බයිට් විය යුතුමද? පවු පින් ලෙසත් නොව විද්‍යාත්මකවත් නොව මනුෂයකු ලෙසින් මනසින් සිතන්න. සහෘදයාගේ පැතුම, ඔබගේ විවාහ උත්සවය කුකුල් රුධිරයෙන් තොර විවාහ මංගල්‍යයක් වේවා.




2009/11/20

BAR TABLE

සහෘදයාට හිතුනා සහෘදයා හදපු ත්‍රිමාණ ආකෘති කිහිපයක් සහෘදයන් එක්ක බෙදාහදා ගන්න. ඔන්න අද ඉදන් සහෘදයාගේ 3D Models. මේ සහෘදයා නිවසකට හදපු Bar Table එකක ත්‍රිමාණ ආකෘතියක්.


2009/11/19

සිත්තරා මමයි












රූසිරි වර්ණනාව සුරගන පරදන
සප්තස්වරයෙන් ගයමි මෙමා
සිහසුන අතහැර සියොලග පෙම ගෙන
සිහගිරි පවුවෙන් බැස ආදා

නිල් උපුලී නිල් නෙළුම් නෙලා
නිල් දිගැසින් වට හොරෙන් බලා
නිල් දියමත්තේ ලැමත් තෙමා
මා වෙත ආවෙද නැකත් බලා

සදරැස් මෙන් හැඩ ඇති රේඛා
සද එළියෙන් හැඩවුන රේඛා
නුබෙ ගත ඇති කෝමල රේඛා
තව ඇත සිත්තම් කල රේඛා

2009/11/17

මල්වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඉදිරි පරම්පරාවටත් රැකගන්නවාද?


සති දෙකකින් විතර මොකවත් ලියන්න බැරි වුනා. මොකද සහෘදයා රාජකාරි මට්ටමින් කාර්යය බහුලත්වයකට පත් වෙලා හිටිය නිසා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. අද ලියුව එක නම් ටිකක් දෙගෙඩියාවෙන් ලියුවේ. මොකද මේ වගේ මාතෘකාවක් පිලිබදව කථා කරන්න මට තියෙන අයිතිය මොකද්ද තියන එක පිළිබදව කවුරු හරි ප්‍රශ්ණ කරන්න ඉඩ තියෙන නිසා. මම දන්නෙත් නැහැ මට ඇති අයිතිය මොකද්ද කියලා නමුත් හිතන්න තහන්චි නැති මුත් ලියන්න තහන්චි නැති මුත් මාගේ සිතිවිලි කුමක් අරබයා සගවා ගෙන සිටිම් ද?

මට මේ කථාව ලියන්න හිතුනේ ලග දී දැක්ක මල්වර වීමේ උත්සවයක් නිසා. ගැහැණු ළමයෙක් වැඩැවියට පත් වෙලා ලග ගෙදරක. ඉතින් ඒ ගෙදර ලොකු පාටියක්. හරියට 1st class වෙඩින් එකක් වගේ. එදා රෑ අපිට නින්දක් නැහැ. තුන්ලෝකෙටම ඇහෙන්න මෙලෝ රහක් නැති දඩ බඩ DJ එකකට කට්ටියම හොද පදමට දාගෙන හූ කිය කිය ජෝගි නටනවා. මට අනේ අපොයි කියලා හිතුනා. පව් අර අසරණ දැරීවි.

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම යනු එම දැරිවියගේ ශරීර අභ්‍යන්තර මූලික ශරීරයේ වෙනස් කම් කිහිපයක් ඇතිවීමකි. නැතහොත් එම තැනැත්තියගේ ශරීරය ප්‍රජනන ක්‍රියාවලීයට පූර්ව සූදානම් බව ජීව විද්ය්‍යාත්මකව හැගවීමකි. එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය මූලික කරගෙන රෝත්ත බුරුත්ත පිරිවරා සැමරීට තරම් දෙයක් ඇති බවක් නම් මට පෙනෙන්නට නැත.

අඩු වයසින් වැඩිවියට පත් වන අවස්ථා වර්ථමානයේ සුලබ දෙයක් බවට පත්ව තිබේ. එයට හේතු වශයෙන් අධික තෙල් ආහාර හා කෘතීම ආහාර චර්යාවන්ට හුරු වීමත් ලිංගික උත්තේජනයන් ඇති කරන්නා වූ සමාජීය සාධක ත් බලපාන බැවු සමාජ විද්ය්‍යාඥයින්ගේ මතයයි. කෙසේ නමුත් වයසින්ද මනසින්ද ළදරු වයසින් වැඩිවියට පත් වීම යනු එම දරුවාට තේරුමක් ගෙන නොදෙන්නක් විය හැකිය. ඒ වගේම සහෝදරයින් පියා හා පිරිමි ඇසුරින් ඈත් කිරීමෙන් ද දවස් ගනන් කාමරයකට දමා කාමර අඩස්සියේ තැබීමෙන් ද පිලි ආහාර සහිත ආහාර රටාවන් වෙනස් කිරීමෙන්ද තමාව දැඩි පාලනයක ලක් කර ඇති බවද එම සෙල්ලක් කාර වයසට දරා ගැනීමට නොහැකි විය හැකිය. එසේම එය ළමා මනසට දැඩි වෙහෙසකර වූත් මානසික ආතතියක් ඇති කරන්නා වූත් ක්‍රියාවලක් වීමට ද පුළුවන.

අපට චාරිත්‍ර වාරිත්‍ර ගතිගුන හා ගුණාංගයන් ලැබෙන්නේ අපගේ දෙමාපියන් ඇතුළු වැඩැහිටියන්ගෙනි. මෙවැනි මල් වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඒ කාලයට සුදුසු බසුබිමක් තියෙන්න ඇති. එකල සමාජයන් මේ තරම් සංකීර්ණ නැත. ඒ වගේම ඒකල නිසි වයසට අනූව එවැනි මල්වර වීම් සිදුවෙන්නටත් ඇති. එම සිදුවීමට අදාලව භාහිර සමාජයෙන් වෙන් කර තබන්න ඇත්තේ එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය තුල ඉතාමත් කෙටි දින කිහිපයක් ඇතුලත එම තැනැත්තියගේ ශරීරයේ හැඩය වෙනස්වීම (ලැම ඉස්සීම) වැනි ක්‍රියා නිසා සමාජය ඉදිරියේ එම තැනැත්තිය අපහසුතාවයකට පත් වෙතැයි සිතා විය යුතුය. තවද ප්‍රථම වතාවට සිදුවන රුධිර ක්‍රියාවලීය නිසා එයට හැඩගැසීම උදෙසාත් ඇය එම දින කිහිපය නිවාස අඩස්සියේ තබා ගැනීම සාධාරන හේතුවක් විය හැකි නමුත් ඇය ගෙදර තුලත් කාමරයකට කොටු කර තැබීම කෙතරම් සාධාරනදැයි සිතීය යුතුය. තවද පුද්ගලික සනීපාරක්ෂාව ඉතාම ඉහල මට්ටමක තබා ගත යුතු මෙම දින කිහිපය තුල ස්නානයට පවා අවසර නොදී නැකත් දිනයක් උදාවන තුරු සිර මැදිරියක මෙන් රදවා තැබීමද පිළී ආහාර නොදීමද කොතෙක් දුරකට නිෂ්ඵල ක්‍රියාවක් ද හා කොතෙක් දුරකට සාධාරන ක්‍රියාවක් දැයි සිතීය යුතුය.

මෙවැනි තත්වයක් ඇතිවුන විට සිදුවිය යුත්තේ ඇ‍ගේ අම්මා හෝ වැඩිහිටි කාන්තාවක් විසින් එම එම තත්වය පිලිබදවත් එය ඇතිවීමට හේතුත් මින් ඉදිරියට ඈ හැසිරිය යුතු ආකාරයනුත් හා එම තත්වයට අදාල සියළු කරුණු කාරනා තේරුම් බේරුම්කර දී ඇය පිරිසිදු කර සාමාන්‍ය ලෙස හැසීරීමට උපදෙස් දීමය. එසේ නොමැතිව බරපතල අපරාධයක් කල තැනැත්තියක මෙන් සිරගත කිරීම හෝ ඇග බැදී හෝ ජෝගී නැටීමට කාරනයක් කර ගැනීම නොකල යුතුය.

මෙලොව වෙසෙන සෑම ස්ත්‍රියක් පාහේ මුහුණ දෙන මෙම අවස්ථාව විශේෂ කාරනයක් කර ගෙන එය සමරන්න තරම් දෙයක් නැති බව දැන දැනත් තවමත් අප ඒ හා බැදි මෙම නිෂ්ඵල චාරිත්‍ර වාරිත්‍ර සියල්ල සුරකින්නේ ඇයි දැයි මට නම් නොහැගෙයි. අප අපගේ පරම්පරාවන් වලින් ලැබුණු චාරිත්‍ර වාරිත්‍ර රැකගෙන අපගේ ඉදිරි පරම්පරාවන් හටත් ලබා දිය යුතුය. එය අපගේ යුතුකමකි. නමුත් අපට ලැබෙන සියල්ල විමසීමකින් හෝ වග විභාගයකින් තොරවම අප ඉදිරියට ගෙන යා යුතුද? අපගේ දූවරුන් ද මෙලෙස වධ බන්ධනයකට ලක් කල යුතු බව ඔබත් සිතනවාද?

2009/11/05

නොකල වරදකට දඩුවම් දීලා මා හට



මගේ රන් කද කොහේ ගියාද මටවත් නොකියා
මගෙන් දුකක් ඇති උනාද අනේ මන්දා
අනේ ඒම නම් දුප්පත් මා ගැන හිතලා
එකම වරක් ඇවිත් යන්න සමාව දීලා


නොදැක ඉන්න බැරි තරමට පෙමින් ලංවුන
රත්තරං දෑසේ කදුළුැල් බිම වැටුනද
නොදොඩා එකම වදනක් වත් මා හට
ගියේ ඔයා මුසා බසක් අහලද


කදා වළුලු රන් මිණිමුතු අගේ නැති මට
ලය සන්තක වස්තුව වුනේ මගේ රන්කද
නොකල වරදකට දඩුවම් දීලා මා හට
ඔයා රත්තරං එන්නේ නැතිද ආයෙම