2010/06/30

මොන ජාතියෙන්ද ඕන

මාතෘකාව දැක්කම හිතුවද දන්නෑ අදත් වලියක් කියලා. එදා වලීය මම කියුවට වඩා ගොඩක් උණුසුම් මුහුණවරක් තිබුනත් වෙලාව ඉතුරු කර ගැනීමේ පහසුව තකා කෙටි කලා. ඒ නිසා වලියක උපරිම රසාස්වාදය ලැබෙන්න නැතිව ඇති. හොලිවුඩ් චිත්‍රපටි වල කාර් වලි දැකලා ඇතිනේ කට්ටිය. අන්න ඒ වගේ සීන් එකක් තමා එදා උනේ. අද මාතෘකාව වලියක් වගේ උනාට අද වලියක් නැහැ. අද ගීත්ගේ පිටරට කථා වලින් කියන්න යන්නේ මා ආශ්‍රය කරන විදේශිය ජාතීන් ගැන විස්තර ටිකක්.

අපේ ආයතනයේ මාත් සමග ශ්‍රී ලාංකිකයෝ 6 දෙනෙක් සිටින අතර ඔවුන් කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවේ වැඩ කරන සේවකයන් වන අතර මා අගනගරයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිසාවෙන් අපට හමුවන්නට කථා බහ කරන්නට අවස්ථාවක් අඩුය. ඔවුන් සිටිනුයේද වෙන නේවාසිකාගාරයකය. මගේ නේවාසිකාගාරයේද ලාංකිකයෙකුට සිටිනුයේ මා පමනක් වන හෙයින් මා තනි අලියෙක් වී සිටී. :D . මා කොහොමත් හුදකලාව ප්‍රිය කරන්නෙක් නිසා ලංකාවේ එවුන් නැහැ කියා පාඩුවක් පාළුවක් නැතිය.

මා සිටින නේවාසිකාගාරය තට්ටු 3ක පාසල් ගොඩනැගිල්ලක් මෙන් ගොඩනැගිල්ලක් වන අතර මෙහි ඉන්දියානු ජාතිකයන් සිරියානු ජාතිකයන් පිලිපීන ජාතිකයන් ඊජිප්තු ජාතිකයන් හා බංග්ලාදේශ් ජාතිකන් සිටී. ඔවුන් සියළුදෙනා අප ආයතනයේ සේවකයන්ය. මාද ඉන්දියානුවන් දෙදෙනාද හා ඊජිප්ත්තු ජාතිකයා අප ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ නිළධාරීන් වන අතර අනෙක් අය ෆැක්ටරි වල හා වැඩබිම් වල සේවය කරන්නන්ය.

අප ගොඩනැගිල්ලේ බංගලියන් 6 දෙනෙක් සිටින අතර මගේ කාමර සගයාද බංග්ලාදේශ් ජාතිකයෙකි. ඔහු මුස්ලිම් ආගමිකයෙකු වන අතර වසස 40ක පමන දෙදරු පියෙකි. අපි ඉතාම සුහදශීලි මිතුරන්ය. බංග්ලාදේශයේ 80%ක් පමණම ජනහනය මුස්ලිම් ජාතිකයන්ය. 10% පමණ හින්දු ජාතිකයන්ය. ඔවුන්ගේ භාෂාව බන්ගාලා ය. ඔවුන්ගේ අක්ෂර වින්‍යාසය හිංදි ලිඛිත අක්ෂර වින්‍යාසයට බොහෝ සෙයින් සමානය. හින්දි ලිපියක් හා බන්ගාලා ලිපියක් එම භාෂාවන් නොදත් අයෙකුට එකවර හදුනා ගනු නොහැකි තරමට පෙනුමින් එක සමානය ය. ඔවුනට ඉංග්‍රීසි කථා කල නොහැකි නිසාවෙන් අප අදහස් හුවමාරු කර ගනුයේ හිංදි හා ඉංග්‍රීසි මිශ්‍ර භාෂාවෙනි. ඔවුන්ගේ මවු භාෂාව හිංදි නොවුවත් ඔවුන් චතුරව හිංදි කථා කරනු ලබයි. මට හිංදි භාෂාව හොදටම කථා කල නොහැකි මුත් දැන් දැන් යමක් කමක් කරගැනීමේ හැකියාවක් තිබේ. ඔහුට ඉංග්‍රීසි කථා කල නොහැකි මුත් ඉංග්‍රීසියෙන් කියනා දේ වටහාගන්නා නිසාවෙන් ඔහු හිංදියෙන් කථාකරන අතර මා ඉංග්‍රීසියෙන් හා හිංදියෙන් කථා කර අපගේ අදහස් හුවමාරු කරගනිමු. මාත් දැන් චෝටා චෝටා හිංදි කථාකරන නිසාවෙන් තව මාස 3න 4කින් හිංදි වලින් ඇට්ටි හැලෙන්න දෙන්න බලාගෙන ඉන්නේ කට්ටියට. හිහ්....හිහ්.... :D

ඉන්දියානු ජාතිකයන් ගිණුම් ශිල්පීන් වන අතර ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවන්ය. කඩුව වනන්නේ නිකන් රොබින්හුඩ් එකේ නසීයර් වගේය. නමුත් ඔවුන් R අකුර යෙදෙන වචන කථාකරද්දී R අකුර වැඩිපුර උච්චාරනය කිරීමෙන් ඔවුන්ගේ භාෂාවේ කෘතීම බවක් තිබේ.

එක් ඉන්දියානුවෙක් කේරළ හිංදු ජාතිකයෙක් වන අතර ඔහුට මෙහි එන විට මා තරම්වත් හිංදි නොදත් බවකුයි ඔහු කියා සිටියේ. අප සිතා සිටිනුයේ ඉන්දියාව කිවුවොත් හිංදි කියාය. නමුත් එය වැරදිය. ඉන්දියාවේ භාෂා 300කට වැඩි ගනනක් ඇති නිසාවෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හා ජන කොට්ඨාශයෙන් කොට්ඨාශයට භාෂාවන් වෙනස්ය. ජාතික භාෂාවන්ම 18ක් ද කොහේදය. ඔහුගේ භාෂාව මලයාලම්ය. එය දෙමළ භාෂාවට ඉතාම සමීප භාෂාවකී. එමෙන්ම මලයාලම් අක්ෂර වින්‍යාසය සිංහල හා දෙමළ අක්ෂර වින්‍යාසයට බොහෝ සෙයින් සමාන කම් තිබේ. මා දවසක් ඔහුට කියා මගේ නම ඔහුගේ මලයාලම් භාෂාවෙන් ලියා ගත්තෙමි. මට පදුම හිතුනි. මගේ නම මලයාලම් භාෂාවෙන් ලියුවද සිංහල භාෂාවෙන් ලියුවද ඉතා කුඩා වෙනසකි. ඔහු භාෂා 5ක් කථාකරන්නෙකි. මෙහි එන විට ඔහු මලයාලම් , දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් දැන සිටියෙකි. මෙහි ආවට පසු හිංදි හා අරාබි භාෂාවන් කථා කිරීමට හුරුවී තිබේ. නමුත් හිංදි හා අරාබි ලියන්න කියන්න දන්නේ නැත. දෙමළ භාෂාව හා මළයාලම් භාෂාව ශබ්ධයෙන් සියයට සියයක්ම වාගේ එක සමානයය. ඔහු පවසන අකාරයට මලයාලම් භාෂාව කථා කරන බොහෝ දෙනෙකුට දෙමළ භාෂාවද කථා කල හැකි නමුත් දෙමළ කථා කරන්නන්ට මලයාලම් කථාකිරීමේ හැකියාවක් නැතිය. ඔයාට ඒක තේරෙන්ට නැතිව ඇති. මටත් තවම ඒ අන්ඩර දෙමළය තේරුනේ නැතිය. :D. තවත් කේරළයෙක් හම්බවුන දවසක ඒකේ ඇත්ත නැත්ත අහලා කියන්නම්කෝ. නමුත් මෙයාට දෙමළ පුළුවන් බව මා අත් දැකීමෙන් දනිමි. මා ඉදිරියේ ලාංකික දමිළයන් හා මොහු දෙමළ භාෂාවෙන් කථා කරනවා කිහිප විටක්ම මා දැක ඇත්තෙමි.

අනෙක් ඉන්දියානුවා නම් ඔරිජිනල් හිංදි කථාකරන්නෙකි. ඔහු උත්තරප්‍රදේෂ් ප්‍රාන්තයේ වන අතර මුස්ලිම් භක්තිකයෙකි. ඔහුට භාෂාවන් 6 ක් හෝ 7ක් දන්නා බවක් දිනක් මා හා පැවසූ අතර එහි සත්‍ය අසත්‍ය තහවුරු කර ගැනීමට අවස්ථාවක් නැත. නමුත් හිංදි, ඉංග්‍රීසි හා අරාබි භාෂා ත්‍රිත්වයම ලියන්න කියවන්න හා කථා කරන්න හැකි බව මා අත් දැකීමෙන් දනිමි. උර්දු භාෂාවද ඔහු කථා කරන අතර එය තහවුරු වූයේ පකිස්ථානුවන් සමග කථා කිරීමෙනි. පකිස්ථානුවන්ගේ ජාතික භාෂාව උර්දුය. උර්දු හා හින්දි භාෂාවේ ලොකු වෙනසක් නැති බව ඔවුන් මට කියා තිබේ. උර්දු හා හිංදි භාෂාවන් සමගාමී භාෂාවන්ය.

සිරියානුවන් ගේ මවු භාෂාව අරාබිය. ඔවුන් හිංදි හෝ ඉංග්‍රීසි කථා නොකරයි. ඔවුන්ට අනෙක් භාෂා ඉගෙනීමටද උවමනාවක් නැතිය. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගන්න ගියහම මට නම් ගොළු භාෂාවේ පිහිටය. :) . සිරියානුවන් බොහෝවිට ඉතාම ප්‍රියමනාප පෙනුමකින් යුත්තය. කඩවසම් පුද්ගලයන් කීවොත් නිවැරදිය. නමුත් එතමරම් අධ්‍යාපන මට්ටමක් නැති බවක් ඔවුන් ආශ්‍රය කිරීමෙන් තේරුම් ගත හැකිය. එමෙන්ම ඔවුන් වහා කිපෙන සුළුය. ෆැක්ටරි එකේ වලියක් නැති සතියක් නැතිය.

පිලිපීන ජාතිකයන් ඉංග්‍රීසි කථා කරන අතර ඔවුන්ගේ භාෂාව පිලිපිනොය. තගාලෝග් කියාද කියනු ලබයි. ඔවුන්ට ආවේනික භාෂාවක් තිබුනට ඔවුනටම ආවේනික අක්ෂර වින්‍යාසයක් නැතිය. ඔවුන් ලිවීම් කටයුතු සදහා භාවිතා කරනුයේ ඉංග්‍රීසි අක්ෂරයය. හිංදි කථාකරන පිලිපීනයන්ද සිටී. ඔවුන් ඔවුන්ගේ අය පමනක් අශ්‍රය කරන අතර අන් ජාතීන් සමග මුහු වීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැතිය. මම දැක්ක දෙයක් තමයි මෙහේ සිටින පිලිපීන ජාතිකයන් වැඩි ප්‍රමානයක් ගැහැනු පෙනුම් ආරූඩ කරගැනීමට උත්සහ කිරීම. ඒ කියන්නේ කොන්ඩේ දිගට වැවීම කන්පෙති දෙකටම කරාබු දැමීම හා මුදු කරාබු හා ෙලාකු ගල් අල්ලපු කරාබු දැමීම. නහයටත් කරාබුදැමීම. හරියට දෙමළ කාන්තාවන් වගේ. මම හිතන්නේ ඒ රටේ ගැහැනු පෙනුම තියෙන පිරිමින්ට හොද ඉල්ලුමක් ඇති. :D. අපේ නේවාසිකා ගාරයේ නම් ඉන්නේ එක පිලෙක් විතරයි. ඌනම් පොඩි එකෙක්. ඌ තවම කරාබු දාලා නැහැ. ආවෙත් ලගදී. හැබැයි පොඩි කියලා නැහැ දවසකට සිගරට් පැකට් එකකට වැඩියෙන් ඉවර කරනවා.

ඊජිප්තුකාරයා අප ආයතනයේ PRO ය. ඒ කියන්නේ public relation Officer. මා පෙර ලිපියේ සදහන් කලා ඔහු මානව සම්පත් කළමනාකරු කියලා නමුත් ඒක නිවරදිම නැත. ඔහුගේ තනතුර සිංහලෙන් කියනවනම් මහජන සම්බන්ධතා නිළධාරී වගේ එකක්. DHR කියන්නේ ඊට වඩා උසස් තනතුරක්. මෙහේ DHR වගේ තනතුරු නම් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. මම අහලා තියෙන තරමින් මෙහේ කාර්යාල වල HR වලට අදාල හැම වැඩක්ම භාරව ඉන්නේ PRO ය.



තව විස්තර පසුවට

2010/06/28

ත්‍රාසජනක අවස්ථාවක්

පිටරටකට ආවට පස්සෙ මුහුණ දුන්නු ත්‍රාසජනකම අවස්ථාවට ගිය සතියේ මුහුණ දිලා මුහුණේ කෑල්ලකුත් හලා ගන්න වුනා. මේකයි සීන් එක. එදා අපි ඔෆීස් එකෙන් යන කොට රෑ 9.30 යි. අපි ගියේ කැබ් එකක. කැබ් එක ඩ්‍රයිව් කලේ සිරියානු ජාතිකයෙක්. ඔහු අපේ කම්පැනියේ ෆෝමන් කෙනෙක්. තවත් සිරියානු ජාතික ෆෝමන් කෙනෙක් ඉදිරි අසුනේ. පිටුපස අසුනේ මමත් මගේ ඉන්දියානු මිතුරාත් ඊජිප්තු ජාතික මිතුරාත් ගමන් කලා. අප 5 දෙනා රටවල් 4ක සම වයස් කාරයන් ය. හැමදාම වාගේ වාහනේ කැසට් එකේ ශබ්ධය උපරිම දාගෙන කෑකෝගහගෙන ෆන් එකේ යන ගමන් අතර මගදී කාර් එකක් රේස් එකට වගේ ආවා. මෙහෙ පාරවල් එල කිරි හින්දා රේස් යනවා කියන්නේ ෆුල් ෆන්. අපේ එකත් නාහයට අහන්නැති එකෙක් මුත් පෑගුවා ලෑල්ලට. අපිත් කමෝන් කමෝන් කිය කිය සප් එක. එතකොටම අර කාර් එක අපේ කැබ් එකට ඉස්සරහින් දාලා ලාවට බ්රේක් පාරක් ගැහුවා. එතකොට තමයි ෆන් එක දෙල් උනේ. රේස් එක කෙසේ වෙතත් ඉස්සරහ හිටිය සිරියානු ජාතිකයන් දෙන්නට නහුතෙට මල පැන්නා ඒ වැඩේට. සිරියානු ජාතිකයන් වහා කිපෙන සුළු පිරිසකි. ඉන්පසු ෆන් එක පැත්තක තියලා අර කාර් එක ෆලෝ කලා. අපි කට කැඩෙන කම් කීවත් වැඩේ අත් හැරලා දාමු කියලා සිරියානුවන් වැඩේ අත් හැරියේ නැහැ. කෝම හරි ෆලො කරලා දැන් වාහන දෙක කරට කර යනවා. වේගය පැයට 120ටත් වැඩී. අනිත් පැත්තේ හිටිය සිරියානුවා ඔහුගේ අතේ තිබුන පෙප්සී කෑන් එකෙන් අර කාර් එකට දමලා ගැහුවා. ඒ කාර් එකේ හිටියේ බංග්ලාදේශ් ජාතිකයන් දෙන්නේක්. ඉන්පසු ඔවුන් දෙදෙනා වැඩේ වල් වුන බව දැන ගැනීමෙන් රේස් එකෙන් ඉවත්ව කාරයේ වේගය අඩාල කරා. ඉන් පසු අප වාහනය ටික දුරක් ගොස් පාර මැද නතර කර සිරියානු ජාතිකයන් දෙන්නා පාරට පැන අර කාරය නවත්ව ගන්න උත්සහ කලා. පිටුපස හිටපු අපි 3දෙනාට හිතා ගන්නවත් වෙලාවක් නැහැ. අනික පිටුපස දොරවල් වල දෝශයක් හේතුවෙන් දොරවල් ඇරගැනීමට ටිකක් වෙහෙසෙන්න ඕන. ඒ ක්ෂනයකින් අර කාරය මොවුන් දෙදෙනාගේ ඇගේ වැදී නොවදින ගානට වෙට්ටුවක් දාලා හුම් ගාලා කන ගාවින් ගියා. ඉන් පසු මලේ උපරිමයට ආව සිරියානුවන් දෙන්නා නැවතත් කැබ් එකට නැග උපරිමයට පාගලා අර කාර එක ෆලෝ කලා. මට දැන් හිතා ගන්න බැහැ ඊළග මොහොතේ කුමක් සිදු වෙයිද කියා. කිසිවෙක් කථා නැහැ. මම හිතා ගත්තා අදනම් පොලීසියෙන් හෝ රෝහලින් මෙහා මේ වැඩේ නවතින එකක් නැහැ කියලා. ඕන දේකට රෙඩි කියලා මගේ අරවා මේවා සේරම ගැජට් බැජට් ටික හකුලලා බෑග් එකට දාලා ගේමට එන්ටර් උනා. ඉන්පසු ප්‍රධාන පාරින් අතුරැ පාරකට බංගලියන්ගේ කාරය දැම්මා. ඉන්පසු අපිත් අපේ වාහනය එය පස්සෙන් ගොස් ඉස්සර කරලා නවත්වපු ක්ෂනයකින් සිරියානුවන් දෙන්නා පැන අර කාරයේ හිටිය බංගලි ජාතිකයන් දෙන්නව ඇදලා ඇරගෙන නෙලන්න ගත්තා. අපේ වාහනයේ පිටුපස දොරවල් දෝෂ සහිත නිසා මමත් ඊජිප්තු ජාතිකයත් ජනෙල වලින් එලියට පැන්න අතර ඉන්දියානු ජාතිකයා ඉදිරිපස දොරෙන් එලියට ආවා. මටත් දෙක තුනක් අනින්න හිතක් ආවත් අරුන් දෙදෙනෙක් අපි 5 දෙනෙක් නිසාත් එක්කෙනෙක්ගේ මුහුනෙන් ලේ ගලනවා දුටු නිසාවෙන් ගහන්න ආව හිත අහක් කර ගනිමින් සිරියානු ජාතිකයව මම පැත්තකට අදින්න උත්සහ ගනිද්දී මගේ අතේ තිබුන බීම කෑන් එක මගේ තොලේ වැදීමෙන් උඩු තොල පුපුරා ගියේය. අපි 3න් දෙනා කොච්චර උත්සහ ගත්තත් විනාඩි 5ක් හෝ ඊට වැඩි වන පමන වන තුරුත් ධ්වන්ද සටන නවතා ගැනීමට නොහැකි විය. සමහරෙක්ගේ ඇදුමවල කෑලී නැත. ඇදුම් ලේ වලින් හා දාදියෙන් තෙත් වෙලාය. මගේ ෂර්ට් එකේ බොත්තම් දෙකක් නැති බවද ලේ පැල්ලම්ද දුටුවේ කාමරයටත් ආ පසුවය. ඉන්පසු මගී ප්‍රවාහන බස් රථයක් පැමින නතර කර එහි සිටි සෙනග සටන සමතයකට පත් කල අතර ගුටි කෑ බංග්ලාදේශ් ජාතිකයන් දෙන්නා ගෙන් කෙනෙක් පොලීසියට කෝල් කල නිසාවෙන් වැඩේ තවත් දුර ගියේය. ඉන් පසු පැය බාගයකට පමන පසු මියෑව් මියෑව් ගා පැමිණි පොලිස් කාරයෙන් හුරුබුහුටි පොලිස් තරුනයන් දෙදෙනෙක් පැමින සියල්ලමට අතට අතදී ඉතා සංයමයෙන් නඩුව විභාග කලේය. ලංකාවේ නම් වටේ සිටින වුන්ටත් කනේ පාර බැගින් දීලා ඇදලා ජීප් එකට දාගන්න එකනේ කරන්නේ. සියළු කරුණු කාරනා විභාග වුනේ අරාබී භාෂාවෙනි. බංග්ලාදේශ් ජාතිකයන්ද ඉතා චතුරව අරාබි භාශාව හැසිරුව අතර සිරියානු ජාතිකයන්ගේ මවු භාෂාවද අරාබි නිසාවෙන් මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැත. ඉන් පසු පතාකා (හැදුනුම්පත්) චෙක් කල පොලීසිය මටත් ඉන්දියානු ජාතිකයත් ඊජිප්තු ජාතිකයත් නිදහස් කල අතර අනිත් 4 දෙනාට පොලිස් කැබ් එකට නගින ලෙස අන කලේය. අපිව නිදහස් කලේ බංග්ලාදේශ් ජාතිකයන්ගේ කට උත්තරෙන් අපිට චෝදනා එල්ල නොකල නිසාවෙනි. ඉන්පසු සිරියානු ජාතිකයා අපි 3 දෙනා අපාර්ට්මන්ට් එකට ඇරලලා එන්නට පොලීසියෙන් අවසර ගත් හෙයින් ඔහුගේ හුදුණුම්පත පොලිසියේ භාරයේ තබා අපි එතනින් පිටත් විමු. ඉන්පසු මමත් ඉන්දියානු ජාතිකයත් වාසස්ථානයට ආව අතර සිරියානු ජාතිකයන් දෙදෙනාත් ඊජිප්තු ජාතිකයත් නැවත පොලීයට ගියේය. ඊජිප්තුජාතිකයා එහි ගියේ ඔහු අප ආයතනයේ මානව සම්පත් කලමනාකරු නිසාවෙන් අවැසි දේවල් කලමනාකරනය කිරීමටය. ඉන්පසු සිරියානුවන් දෙදෙනාත් බංගාලීයන් දෙදෙනාත් පැය 20ක් හිර භාරයේ සිටීමට සිදුවී ඇති අතර දඩ මුදල්ද ගෙවා එලියට ඒමට සිදුවී තිබේ.

2010/06/21

සගවනු බෑ සිතිවිලි ගග පියාන දෙනෙත
















සරතැස නිවා සදරැස පැමිණෙන රෑට
සතැපුමකට වඩා දුර සිටියත් සොදුර
හිස පිරිමැද සිප නලලත නිබද
සතැපෙමි සයනයෙහි නුඹ තුරුලේහි සිතා මම


සන්සුන් ස්වරයෙන් මා සනසන අයුර
සාධු නාද සේ සවනේ සරන කොට
සත් සමුදුරු සත් ගගුලෙන් එතෙර
සිටියත් සොයමි සිසිලස නුඹ තුරුලේ මම


සමන් පිච්ච සුගන්ධියේ නුඹෙ සුවද
සියුම්ව විත් කිති කවනවා සියොලගම
සගවනු බෑ සිතිවිලි ගග පියාන දෙනෙත
සායම් නැති සල රූ වේ දෙනෙතට එවිට

2010/06/16

ශිතකරනයක් තුල ජීවිතය

විරහා වට එරෙහිව නැගී සිටීමේ ප්‍රථම පියවර වශයෙන් විරහා ගීත ලියන එක තාවකාලිකව අත්හිටු වා මිල්ටන් මල්වආරච්චි මහත්මයාගේ ගිත වලට ඩාන්ස් කිරීමට රවා හා මා පෙර පෝස්ට් එකෙන් කතිකා කර ගත් හෙයින් ඩාන්ස් කිරීමට අමතරව ඔන්න අද ඉදන් ගීත් ගේ පිටරට කථා. ටන්ටර..ටං...ටං...ටන්ටර...ටං...ටං...ටා........

අද මෙහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 යි. මේ උෂ්ණ ඝෘතුව ගමන් කරමින් තිබෙන්නේ. අවු කන්නාඩි යුගලක් නැතිව එලි පහලියකට යනවා කියන්නේ වැඩක් නැහැ ඒ ගැන කථා කරලා. ඇස් පිච්චෙන ගානයි. මෙහේ ජීවිත් වෙන මිනිස්සු කම් කරුවන් හා ගොඩනැගලි වලින් පිට වැඩ කරන මිනිස්සු හැර අන් හැමෝම ජීවත් වනුයේ පැය 24 ම වාෙග් වායූ සමීකරණය කල කාමර තුලය. වාහනයයෙන් ගොඩනැගිල්ලටත් ගොඩනැගිල්ලේන් වාහනයටත් ඇරුනහම දවසේ පැය 24 න් පැය 23 හමාරක් විතරම AC තුළය. ඒ නිස යි ශිතරකරණයක් තුල ජීවිතය කියා මාතෘකා කලේ. සාමාන්‍යෙයන් මෙහේ ඇති සෑම බිත්ති හතරකටම එක් AC යන්ත්‍රයක් බැගින් තියෙනවා කීවොත් ඒකේ ඇති වැරැද්දක් නැත‍. ඒ තරමටම මේ රටට හා මේ රටවල් වලට AC යන්ත්‍ර අත්‍යවශ්‍යයය. මෙම උෂ්ණ කාලය අවසන් වනුයේ ඔක්තෝම්බර් මාසයෙන් පසුව බව මට වඩා මෙම ජීවිතයේ පළපුරුද්ද ඇති ඉන්දියානු මිතුරා පවසන අතර ඉන් පසුව මාස 3ක් උපරිම 4 ක් සීත කාලය ය. මේ දවස් වල එලීයේ තියෙන යකඩ බටයක් එහෙම අල්ලනවා කියන්නේ පදමට රත් වෙච්ච රොටී තැටියකට අත තිබිබා ගානය. ටැප් වලින් වතුර එන්නේ කේතලයේ නටන ගානට වඩා ටිකක් අඩු රත් වුන වතුරය. නාන්න තියෙන්නේත් ඒ වතුරය.

රෑ 12 හා 1ටවත් සාමාන්‍ය වතුර ටිකක් නා ගත නොහැකිය. මගේ නේවාසිකාගරයේ සිටින මිතුරන් කරනුෙය් ලොකු බකට් වලට වතුර පුරවා කාමරයේ තබා ගැනීමය. AC නිසා එම වතුර සීත වන හෙයින් අවැසි වෙලාවට එම වතුර බකට් එකෙන් ඇග අතපය සොදා ගනී. නැතිනම් එම වතුර හා ටැප් වතුර මිශ්‍ර කර ජල අවැසිතා ඉටු කර ගනු ලබයි. තවද මෙගා බෝතල් වලට වතුර පුරවා ගැඹූරු ශීතකරණයේ ගල් වෙන්නට තබා ස්නානය කරන වෙලාවට විනාඩි 5කට 10කට පමන පෙර එම බෝතලය අර වතුර බාජනයේ ගිල්වා තබා එම වතුර ප්‍රයෝජනයට ගනු ලබයි. මමද බොහෝම උෂ්ණ ඇති විට පමනක් නේවාසිකාගාරයේදි මෙම ක්‍රමය ප්‍රයෝජනයට ගන්නා අතර නමුත් ඕන මරදානක් කියලා කෙලින්ම උනු උනුවේ සවර් එකෙන් නාලා AC එක ලගට වෙලා ඉන්නේ ඉහත ක්‍රමය පිලිෙයල කර ගැනීමට අැති කම්මැලි කමත් එම වතුර මට ප්‍රමානවත් නැති නිසාත්ය. එහි අතුරු ප්‍රථිපලයක් ෙලසින් මගේ ඉතුරු කෙස් ගස් ටිකත් ගැලවී යමින් තිබේන අතර ගිය කෙස් ගහට නාඩන්නේ තියෙන කෙස් ගහ රැක ගන්නේ කියලා ජෝන් සීනත් කියලා තියෙන නිසා ඉතුරු කෙස් ගස් ටික රැක ගැනීමට මා දැනට පාරම්පරික ඉන්දියානු කේෂලාවන්‍ය උපදෙස් ලබා ගනිමින් සිටිමි.

මා මෙහි ආවේ සීත කාලයේ බැවින් සීත කාලය පිළිබදව දැන් මට අත් දැකීමක් ඇත. මෙහි සීත කාලය නුවරඑලීයේ උපරිම සීත කාලය ට විතර සමාන වන අතර සමහර දවස් වලට ඊටත් වඩා වැඩි විය හැකිය. සාමාන්‍යෙයන් අඩි 4ක 5ක වපසරියක් නොපෙනෙන තරමට ඝන මීදුමද සමහරක් දිනයන් හී ඇතිවේ. සීත කාලය පිළිබදව සීත කාලයේදිම කථා කරමුකෝ ඉස්සරහට.

2010/06/15

විරහ වේදනාවට එරෙහි මාගේ ප්‍රථිපත්ති ප්‍රකාශය

හැමදාම විරහ ගීතම ලියලා දැන් මටම මගේ ගීත රචනය එපා වෙලා. වැඩේ කියන්නේ ලියවෙන්නෙත් විරහ ගී විතරමනේ. මොන විදිහක ගීතයක් ලියන්න පටන් ගත්තත් අන්තිමට ලියලා ඉවරවෙනකොට ඒක විරහා ගී යක් වෙලා. බැති ගීයක් ලියන්න පටන් ගත්තත් අවසන් වෙන්නේ මිය ගිය සෙනෙහසින්. ඇයි දෙයියනේ මාර කරුමයක් නේ මේක. බ්ලොග් එකකට ඔළුව දාන්න බැහැ විරහව දෝරගලනවා. පත්තරයක කවි පිටුව තනිකර විරහ කදුළු කැට. කම්මැලිවට සිංදුවක් අහන්න බැහැ බීට් එකට අඩනවා. විරහ වේදනාවෙන් දුක් වින්ද හොදොටෝම ඇති. අපි විරහවට එරෙහිව නැගී සිටි යුතුය. විරහවට එරෙහි මහා ජන මතයක් ඇති කළ යතුය. කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා විරහවට එරෙහිව දැවැන්ත උද්ගෝෂන ව්‍යාපාරයක් සංවිධානය කල යතුය. බූට් තියන කොල්ලන්ට හා විශේෂයෙන් කෙල්ලන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වන සාධාරන විරහා නීති රෙගුලාසී පද්ධතියක් ඇති කල යුතුය. විරහව කියන්නේ අධිරජ්‍යවාධී කුමන්ත්‍රනයක අදෘශ්‍යමාන හස්තයක් වෙන්නත් බැරි නැති නිසා මෙම විරහ චන්ඩ රළ පහරට එහිව රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් ලබා ගත යුතුය. වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු අනපතක් මගින් විරහ ගිණි නිවීමේ හමුදා ඒකකයක් ඇති කල යුතුය. විරහව ඇති වීම අවම කිරීම හා පාලනය කිරීම වස් විරහා වේදනා අතුරුපාලක කමිටුවක් පත් කල යුතුය. එම අතුරු පාලක කමිටුවේ උසස් තනතුරු සදහා විරහව ගැන මනා පරිපූර්ණ දැනුමක් ඇති මුතුකුමාරන හා කිංස්ලි වැනි ගායකයන් නිතරගයෙන් තෝරා පත් කල යුතුය. තවද අවසන් වශයෙන් විරහ වේදනාවෙන් දුක් විදින තරුණ තරුණියන් පුනරුත්තාපය කිරීම සදහා පුනරුත්තාපන කදවුරු ඇති කල යුතුය. එමගින් විරහවෙන් නොහඩන ෙප්‍රමනීය තාරුන්‍යයක් හෙට අපට උදා වනු ඇත.