2010/06/30

මොන ජාතියෙන්ද ඕන

මාතෘකාව දැක්කම හිතුවද දන්නෑ අදත් වලියක් කියලා. එදා වලීය මම කියුවට වඩා ගොඩක් උණුසුම් මුහුණවරක් තිබුනත් වෙලාව ඉතුරු කර ගැනීමේ පහසුව තකා කෙටි කලා. ඒ නිසා වලියක උපරිම රසාස්වාදය ලැබෙන්න නැතිව ඇති. හොලිවුඩ් චිත්‍රපටි වල කාර් වලි දැකලා ඇතිනේ කට්ටිය. අන්න ඒ වගේ සීන් එකක් තමා එදා උනේ. අද මාතෘකාව වලියක් වගේ උනාට අද වලියක් නැහැ. අද ගීත්ගේ පිටරට කථා වලින් කියන්න යන්නේ මා ආශ්‍රය කරන විදේශිය ජාතීන් ගැන විස්තර ටිකක්.

අපේ ආයතනයේ මාත් සමග ශ්‍රී ලාංකිකයෝ 6 දෙනෙක් සිටින අතර ඔවුන් කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවේ වැඩ කරන සේවකයන් වන අතර මා අගනගරයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිසාවෙන් අපට හමුවන්නට කථා බහ කරන්නට අවස්ථාවක් අඩුය. ඔවුන් සිටිනුයේද වෙන නේවාසිකාගාරයකය. මගේ නේවාසිකාගාරයේද ලාංකිකයෙකුට සිටිනුයේ මා පමනක් වන හෙයින් මා තනි අලියෙක් වී සිටී. :D . මා කොහොමත් හුදකලාව ප්‍රිය කරන්නෙක් නිසා ලංකාවේ එවුන් නැහැ කියා පාඩුවක් පාළුවක් නැතිය.

මා සිටින නේවාසිකාගාරය තට්ටු 3ක පාසල් ගොඩනැගිල්ලක් මෙන් ගොඩනැගිල්ලක් වන අතර මෙහි ඉන්දියානු ජාතිකයන් සිරියානු ජාතිකයන් පිලිපීන ජාතිකයන් ඊජිප්තු ජාතිකයන් හා බංග්ලාදේශ් ජාතිකන් සිටී. ඔවුන් සියළුදෙනා අප ආයතනයේ සේවකයන්ය. මාද ඉන්දියානුවන් දෙදෙනාද හා ඊජිප්ත්තු ජාතිකයා අප ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ නිළධාරීන් වන අතර අනෙක් අය ෆැක්ටරි වල හා වැඩබිම් වල සේවය කරන්නන්ය.

අප ගොඩනැගිල්ලේ බංගලියන් 6 දෙනෙක් සිටින අතර මගේ කාමර සගයාද බංග්ලාදේශ් ජාතිකයෙකි. ඔහු මුස්ලිම් ආගමිකයෙකු වන අතර වසස 40ක පමන දෙදරු පියෙකි. අපි ඉතාම සුහදශීලි මිතුරන්ය. බංග්ලාදේශයේ 80%ක් පමණම ජනහනය මුස්ලිම් ජාතිකයන්ය. 10% පමණ හින්දු ජාතිකයන්ය. ඔවුන්ගේ භාෂාව බන්ගාලා ය. ඔවුන්ගේ අක්ෂර වින්‍යාසය හිංදි ලිඛිත අක්ෂර වින්‍යාසයට බොහෝ සෙයින් සමානය. හින්දි ලිපියක් හා බන්ගාලා ලිපියක් එම භාෂාවන් නොදත් අයෙකුට එකවර හදුනා ගනු නොහැකි තරමට පෙනුමින් එක සමානය ය. ඔවුනට ඉංග්‍රීසි කථා කල නොහැකි නිසාවෙන් අප අදහස් හුවමාරු කර ගනුයේ හිංදි හා ඉංග්‍රීසි මිශ්‍ර භාෂාවෙනි. ඔවුන්ගේ මවු භාෂාව හිංදි නොවුවත් ඔවුන් චතුරව හිංදි කථා කරනු ලබයි. මට හිංදි භාෂාව හොදටම කථා කල නොහැකි මුත් දැන් දැන් යමක් කමක් කරගැනීමේ හැකියාවක් තිබේ. ඔහුට ඉංග්‍රීසි කථා කල නොහැකි මුත් ඉංග්‍රීසියෙන් කියනා දේ වටහාගන්නා නිසාවෙන් ඔහු හිංදියෙන් කථාකරන අතර මා ඉංග්‍රීසියෙන් හා හිංදියෙන් කථා කර අපගේ අදහස් හුවමාරු කරගනිමු. මාත් දැන් චෝටා චෝටා හිංදි කථාකරන නිසාවෙන් තව මාස 3න 4කින් හිංදි වලින් ඇට්ටි හැලෙන්න දෙන්න බලාගෙන ඉන්නේ කට්ටියට. හිහ්....හිහ්.... :D

ඉන්දියානු ජාතිකයන් ගිණුම් ශිල්පීන් වන අතර ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවන්ය. කඩුව වනන්නේ නිකන් රොබින්හුඩ් එකේ නසීයර් වගේය. නමුත් ඔවුන් R අකුර යෙදෙන වචන කථාකරද්දී R අකුර වැඩිපුර උච්චාරනය කිරීමෙන් ඔවුන්ගේ භාෂාවේ කෘතීම බවක් තිබේ.

එක් ඉන්දියානුවෙක් කේරළ හිංදු ජාතිකයෙක් වන අතර ඔහුට මෙහි එන විට මා තරම්වත් හිංදි නොදත් බවකුයි ඔහු කියා සිටියේ. අප සිතා සිටිනුයේ ඉන්දියාව කිවුවොත් හිංදි කියාය. නමුත් එය වැරදිය. ඉන්දියාවේ භාෂා 300කට වැඩි ගනනක් ඇති නිසාවෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හා ජන කොට්ඨාශයෙන් කොට්ඨාශයට භාෂාවන් වෙනස්ය. ජාතික භාෂාවන්ම 18ක් ද කොහේදය. ඔහුගේ භාෂාව මලයාලම්ය. එය දෙමළ භාෂාවට ඉතාම සමීප භාෂාවකී. එමෙන්ම මලයාලම් අක්ෂර වින්‍යාසය සිංහල හා දෙමළ අක්ෂර වින්‍යාසයට බොහෝ සෙයින් සමාන කම් තිබේ. මා දවසක් ඔහුට කියා මගේ නම ඔහුගේ මලයාලම් භාෂාවෙන් ලියා ගත්තෙමි. මට පදුම හිතුනි. මගේ නම මලයාලම් භාෂාවෙන් ලියුවද සිංහල භාෂාවෙන් ලියුවද ඉතා කුඩා වෙනසකි. ඔහු භාෂා 5ක් කථාකරන්නෙකි. මෙහි එන විට ඔහු මලයාලම් , දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් දැන සිටියෙකි. මෙහි ආවට පසු හිංදි හා අරාබි භාෂාවන් කථා කිරීමට හුරුවී තිබේ. නමුත් හිංදි හා අරාබි ලියන්න කියන්න දන්නේ නැත. දෙමළ භාෂාව හා මළයාලම් භාෂාව ශබ්ධයෙන් සියයට සියයක්ම වාගේ එක සමානයය. ඔහු පවසන අකාරයට මලයාලම් භාෂාව කථා කරන බොහෝ දෙනෙකුට දෙමළ භාෂාවද කථා කල හැකි නමුත් දෙමළ කථා කරන්නන්ට මලයාලම් කථාකිරීමේ හැකියාවක් නැතිය. ඔයාට ඒක තේරෙන්ට නැතිව ඇති. මටත් තවම ඒ අන්ඩර දෙමළය තේරුනේ නැතිය. :D. තවත් කේරළයෙක් හම්බවුන දවසක ඒකේ ඇත්ත නැත්ත අහලා කියන්නම්කෝ. නමුත් මෙයාට දෙමළ පුළුවන් බව මා අත් දැකීමෙන් දනිමි. මා ඉදිරියේ ලාංකික දමිළයන් හා මොහු දෙමළ භාෂාවෙන් කථා කරනවා කිහිප විටක්ම මා දැක ඇත්තෙමි.

අනෙක් ඉන්දියානුවා නම් ඔරිජිනල් හිංදි කථාකරන්නෙකි. ඔහු උත්තරප්‍රදේෂ් ප්‍රාන්තයේ වන අතර මුස්ලිම් භක්තිකයෙකි. ඔහුට භාෂාවන් 6 ක් හෝ 7ක් දන්නා බවක් දිනක් මා හා පැවසූ අතර එහි සත්‍ය අසත්‍ය තහවුරු කර ගැනීමට අවස්ථාවක් නැත. නමුත් හිංදි, ඉංග්‍රීසි හා අරාබි භාෂා ත්‍රිත්වයම ලියන්න කියවන්න හා කථා කරන්න හැකි බව මා අත් දැකීමෙන් දනිමි. උර්දු භාෂාවද ඔහු කථා කරන අතර එය තහවුරු වූයේ පකිස්ථානුවන් සමග කථා කිරීමෙනි. පකිස්ථානුවන්ගේ ජාතික භාෂාව උර්දුය. උර්දු හා හින්දි භාෂාවේ ලොකු වෙනසක් නැති බව ඔවුන් මට කියා තිබේ. උර්දු හා හිංදි භාෂාවන් සමගාමී භාෂාවන්ය.

සිරියානුවන් ගේ මවු භාෂාව අරාබිය. ඔවුන් හිංදි හෝ ඉංග්‍රීසි කථා නොකරයි. ඔවුන්ට අනෙක් භාෂා ඉගෙනීමටද උවමනාවක් නැතිය. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගන්න ගියහම මට නම් ගොළු භාෂාවේ පිහිටය. :) . සිරියානුවන් බොහෝවිට ඉතාම ප්‍රියමනාප පෙනුමකින් යුත්තය. කඩවසම් පුද්ගලයන් කීවොත් නිවැරදිය. නමුත් එතමරම් අධ්‍යාපන මට්ටමක් නැති බවක් ඔවුන් ආශ්‍රය කිරීමෙන් තේරුම් ගත හැකිය. එමෙන්ම ඔවුන් වහා කිපෙන සුළුය. ෆැක්ටරි එකේ වලියක් නැති සතියක් නැතිය.

පිලිපීන ජාතිකයන් ඉංග්‍රීසි කථා කරන අතර ඔවුන්ගේ භාෂාව පිලිපිනොය. තගාලෝග් කියාද කියනු ලබයි. ඔවුන්ට ආවේනික භාෂාවක් තිබුනට ඔවුනටම ආවේනික අක්ෂර වින්‍යාසයක් නැතිය. ඔවුන් ලිවීම් කටයුතු සදහා භාවිතා කරනුයේ ඉංග්‍රීසි අක්ෂරයය. හිංදි කථාකරන පිලිපීනයන්ද සිටී. ඔවුන් ඔවුන්ගේ අය පමනක් අශ්‍රය කරන අතර අන් ජාතීන් සමග මුහු වීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැතිය. මම දැක්ක දෙයක් තමයි මෙහේ සිටින පිලිපීන ජාතිකයන් වැඩි ප්‍රමානයක් ගැහැනු පෙනුම් ආරූඩ කරගැනීමට උත්සහ කිරීම. ඒ කියන්නේ කොන්ඩේ දිගට වැවීම කන්පෙති දෙකටම කරාබු දැමීම හා මුදු කරාබු හා ෙලාකු ගල් අල්ලපු කරාබු දැමීම. නහයටත් කරාබුදැමීම. හරියට දෙමළ කාන්තාවන් වගේ. මම හිතන්නේ ඒ රටේ ගැහැනු පෙනුම තියෙන පිරිමින්ට හොද ඉල්ලුමක් ඇති. :D. අපේ නේවාසිකා ගාරයේ නම් ඉන්නේ එක පිලෙක් විතරයි. ඌනම් පොඩි එකෙක්. ඌ තවම කරාබු දාලා නැහැ. ආවෙත් ලගදී. හැබැයි පොඩි කියලා නැහැ දවසකට සිගරට් පැකට් එකකට වැඩියෙන් ඉවර කරනවා.

ඊජිප්තුකාරයා අප ආයතනයේ PRO ය. ඒ කියන්නේ public relation Officer. මා පෙර ලිපියේ සදහන් කලා ඔහු මානව සම්පත් කළමනාකරු කියලා නමුත් ඒක නිවරදිම නැත. ඔහුගේ තනතුර සිංහලෙන් කියනවනම් මහජන සම්බන්ධතා නිළධාරී වගේ එකක්. DHR කියන්නේ ඊට වඩා උසස් තනතුරක්. මෙහේ DHR වගේ තනතුරු නම් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. මම අහලා තියෙන තරමින් මෙහේ කාර්යාල වල HR වලට අදාල හැම වැඩක්ම භාරව ඉන්නේ PRO ය.



තව විස්තර පසුවට

3 comments:

  1. ෂික්.. මන් හිතන් ආපු ජාතිය නෑ බං.. අපරාදෙ...මදෑ ටිකක් ඉල්ලගන්න හිතන් ආවා...

    හ්ම්ම්ම්.. ඉතුරු ටිකත් දාපන්කො අපිට බලන්න එහෙනන්...

    ReplyDelete
  2. ජාති Mixture එකක්..
    හොඳයි. :)

    ReplyDelete
  3. ලන්කාවට එනකොට ශඩ් බාශා පරමෙශවර වෙලා එන්න.......

    ReplyDelete

ඇත්තම කියන්න