2009/09/29

මොනව හරි කියන්න

ඔයාගේ වැඩේම ඉතිං මට රිද්දන්න මොනා හරි කියන එකනෙ. ඔයාගේ ඔය විනෝදාංශය ගැන දන්න නිසාම ඒවා ගනන් ගන්නේ නැහැ කියලත් ඔයා දන්නවා. ඒ වුනාට මට තරහ ගියේ නැති වුනහම මූන එල්ලගෙන ‍මගෙත් එක්ක නොරොක් වෙලා ඉන්නේ හරියට තරගයකින් පරාජය වුනා වගේ. ඔයා මොනා කිවුවත් මම ඔයත් එක්ක තරහා වෙන්නේ නැහැ නේ. ඔයාම ඕන නැති ඒවා කියලා ඔයාම තරහා වෙනවා.ඔයා මොනවත් නොකියා අහක බලන් ඉන්නකොට මට හරි දුකයි. ඒ නිසා අහක බලන් ඉන්නේ නැතිව මොනා හරි කියන්න. ඔයා මොනා කිවුවත් මට ඒවා හරිම ප්‍රියයි.

මොනව හරි කියන්න
එපා අහක බලන් ඉන්න
අනේ ප්‍රියේ හිත හැදෙන්න
මට ආසයි අහන් ඉන්න

සිනිදු සිහින් දෑත වනා
නීල මීන නයන සලා
කියන ලියන බොලද කථා
මටනම් නැහැ එපා වෙලා

හිමින් හිමින් ලගට වෙලා
මා ලය හසරැල් පුරවා
මට රිද්දන කථා කියා
හිත රිද්දා ගන්නේ ඔයා

2009/09/28

මොකද්ද මේ ආදරේ

පෙරමං කියලා
පෙරමං බලලා
නොදොඩා ඉන්නද කථා කලේ
දැන් රැ වෙනවා
යන්නනට වෙනවා
ආයෙම හෙට එනවාද ඔයා

පළමු දිනේ අද
ප්‍රථම ප්‍රේමෙ අප
කථා බහට නැහැ වදන් ළග
හදවතේ හැගුමන් මුවින් නොපිටවෙන
අනේ මන්ද මේ ‍ප්‍රේමෙ රග

මට තේරෙන්නෑ
වටහා ගන්න බැහැ
මොකද්ද මේ ආදරේ කියා
අහන්න කෙනෙක් නැහැ
දන්න කෙනෙක් නැහැ
මොකද්ද මේ ආදරේ කියා

2009/09/15

නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 04

වර්ථමාන න්‍යෂ්ඨික තාක්ෂණයේ දියුණුවත් අනාගතයේ පැවතිය හැකි දියුණුවත් සංසන්දනය කර බලන්නේ නම් මුළු පෘථිවි තලයම ක්ෂණයකින් දූලි වලාවක් බවට පත් කිරීමට හැකි න්‍යෂඨික බෝම්මයක් හෝ න්‍යෂඨික අවියක් නිශ්පාදනය වනවාට කිසිදු සැකයක් ඇති කර ගැනීමට ඉඩක් නැත. සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව ප්‍රායෝගික සත්‍යයක් බැවින් පෘථිවියද කවදා හෝ විනාශ වන්නේය. එසේ නම් පෘථිවිය විනාශ වන දවසේ ජීවත් වන සියළු ජීවීන් නැවත නූපදින්නේ යැයි අනුමාණ කිරීමට සාධාරණ හැකියාවක් පවතී. එය එසේ නම් ලෝක විනාශ වන දවසේ ජීවත් වන ජීවී සියල්ලෝ සියළු කෙලෙසුන්ගෙන් මිදී සිට්න්නෝද? නැතිනම් අසම්භාවික වාසනා ගුනයක් ඇත්තෝද? මක් නිසාද යත් ඔවුන් සියල්ලෝ කිසිදු කැප කිරීමකින් තොරව නැවත උප්පත්තියක් නැති මරණයතකට පත් වන නිසාය.


එදවස ජීවත් වන සියල්ලන් නැවත ජීවි පැවැත්මකට අවශ්‍ය සාධකයන් රැස්වන තුරු ඝන්ධබ්බව සිටිනේ යැයි තර්කයක් ගෙන ආ හැකිය. නමුත් ජීවී පැවැත්මකට සුදුසු පරිසරයක් නිර්මාණය වීමට ලෙහෙසි පහසු කාලයක් ගතනොවේ. ඒ වගේම න්‍යෂ්ඨික පිපිරීමකින් පසු නැවත ජීවී පැවැත්මකට සුදුසු පරිසරයක් ගොඩ නැගේවි යැයි අනුමාන කළ හැකි ද? එසේ නම් ඝන්ධබ්බයන්ට එතෙක් කලක් ඝන්ධබ්බ තත්වයක පැවතීය හැකි වේවිද?

2009/09/14

නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 03

මරනින් පසු නැවත උප්පත්තියක් ඇති බවට පිළිගැනීමට වර්තමානයේ විද්‍යාත්මක සාධක‍යෝ පෙළ ගැසී සිටින නමුත් මැරෙන සියල්ලෝම නැවත උපදිනවාද යන මතය තවම තහවුරු වී නොමැත. නිවන කියන අවස්ථාවද එවැන්නකි. දහමට අනුව එය කෙසේවත් සනාථ කර ගැනීමට නොහැක්කේය. මක්නිසාද යත් නිවන් දකින කෙනෙකුගෙන් සම්මුඛ සාකච්චාවක් හෝ නිශ්ශිතවම අහවලා නිවන් දැක්කාය යන සාක්ෂීන් ගොනුකොට ගනු නොහැකි නිසාවෙනි.


දැනට විශ්වයේ කිනම් තැනකවත් පෘතුවි‍යේ හැර ජීවී පැවැත්මක් ඇති වෙනත් තැනක් ඇති බවට ප්‍රමාණවත් සාකෂි ගොනුකොට නැත. ඉදින් මේ ලෝකයේ සියළු ජීවීන් ක්ෂණයකින් මිහිපිටින් තුරන් වුවහෝත් ද ජීවී පැවැත්මකට අවශ්‍ය සියළු සාධක‍යෝ විනාශ උවහොත් ද පෘතිවියම දූලි බවට පත් වුවහොත් ද ලෙස අනුමාන කරන්නේ නම් නැවත උප්පත්තියක් ගැන නැවත වතාවක් සාකච්චා කල යුතුව ඇත. මක් නිසාද යත් ජීවි හට ගැන්මක් උදෙසා බල පවත්නාවූ කිසිදු මූලධර්මයක් ඉතිරි නොවන හෙයිණි.

නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 02

ආධ්‍යාත්මික දර්ශනයක් බොහෝ විට විශ්වාසය මත පදනම් ව ගොඩනැගුන හා මුඛපරම්පරා මගින් පෝෂණය වූද කුඩා කලපටන් හිත් තුලට කාවද්දා ඇති සිතිවිලි සමුදායකි. බොහෝවිට මෙවන් දැ තර්ක වලට පටහැනි වීමට පුළුවන. තර්ක හා සාක්ෂි මගින් ඔප්පු කිරීමට නොහැකිවාක් මෙන්ම තර්කිකව එවන් කරුනු කෙරෙහි නොබලන්නේ එම දර්ශනයන් කෙරෙහි වු ගෞරවයත් බිය හා පක්ෂ පාතීත්වය නිසාවෙනි.


අප පිළිගන්නා දහමට අනූව මරනින් මතු නිවන් දකින තුරු නැවත නැවතත් මැරි මැරී උපදින්නේය. නිවන යනු සරළව සලකන විට කිසිදු රූපකායක් හෝ මනෝ කායකින් තොර හැගීම් දැනීම් වේදනාවන්ගෙන් තොර ශුන්‍ය තත්වයකට අපේ ආත්මයන් පවත්වීමයි. නිවන් දැකීමෙන් අපේ සංසාර ගමන නවතින්නේය. සාමාන්‍යයෙන් කම්සැප අත්විදින කෙනෙකුට නිවන් දැකීමට හැකියාවක් ඇති බවක් අසා නොමැති නිසාවෙන් නිවන් දකින්නට නම් සියළු ක්ලේෂයන් දුරු කරගත යුතුය. එවැන්නක් සාමාන්‍ය මනුෂ්‍යයකුට කල නොහැක්කේය. ඉදින් අධි ආධ්‍යත්මක ගුණ වගාවක් ඇති කල යුතුය. එවැන්නක් ඇතිකරගැනීම සදහා කායිකවත් මානසිකවත් විශාල කැප කිරීමක් සිදුකල යුතුය.


නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 01

මගේ මේ රචනාව හුදෙක්ම අදහසක් පමණක් බවත් එය ධර්මයට කරන අභියෝගයක් හෝ අගෞරවයක් අරබයා නොවන බවටත් එවැනි කාරනයක් උදෙසා මා බුද්ධිමත් අයකු නොවන බවටත් බුද්ධිමත් පාඨකයා පලමුව දැන ධාරණය කරගත යුතුය. සිතන්නට තහන්චි නැතිමුත් ලියන්නට තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරබයා සගවාගෙන සිටිම්ද?


කෙලෙසුන්ගෙන් ද, බැදීම් වලින් ද නිදහස් වන තරමට ද දුරස් වන තරමට ද දුක්ක දෝමනස්සයන්ගෙන් දුරස් වන්නාය යන දර්ශණය ප්‍රායෝගික සත්‍යකි. නමුත් අප කිසිවෙකුත් අත්විද නොමැති ජීවිතයේ සැබෑ සහනය පතා ‍ලෞකිකත්වයෙන් මිදුනු අධි ආධ්‍යාත්මික රටාවකට අපගේ ස්වාභාවික මනෝභාවයන් හුරුකල යුතුද?


2009/09/11

හිතන්න දෙයක් නැති නම් යාචකයන් ගැන හිතන්න

දරිද්‍රතාවයද, ආර්ථික අවපාතයද, රැකියා විරහිත භාවයද, කම්මැලි කමද, පහසු අපහසුකමද යනාදියෙන් නිශ්ශිත හේතුවක් හේතුවක් ‍හදුනාගත නොහැකි වූද දිනෙන් දින මගතොටේ හමුවෙන යාචක පුද්ගලයන් ගේ වැඩිවීමක් මිස අඩුවීමක් පෙනන්නට නොමැති නියාවෙන්ද එහි සිතන්නට යමක් මා සතුවිය.

නානාවිද යාචකයන් නානාවිද රංගනයන්ගේ යෙදෙන අතර සාම්ප්‍රධායික කවි ගී විරිදු ආදි දුක් අදෝනා පරයමින් වර්තමානයේ කාලයාත් සමග නවීකරණය වූ රංගන විලාසයන් දැක ගත හැකි වන්නේය. ඒ අතරින් මගතොට බහුලව දැකීය හැකි රංගනයන් කිහිපයක් පහත ආකාරයට දැක්විය හැකිය.
  • · අත දරුවන් රංගන උපකාරයන් බවට පත් කර ගැනීම.
    · ආලෝක සංඥා පද්ධති අසල වාහන තදබදය ප්‍රයෝජනයට ගැනීම.
    · තම දරුවන් ගේ අසනීප තත්වයන් හා රෝග වාර්ථාවන් ඉදිරිපත් කිරීම.
    · අත් පත්‍රිකා බෙදා දීම.
    · මනා ලෙස හැද පැළද ගත් වැදගත් පුද්ගලයකු ලෙස හැසිරීම.

ඉහත සදහන් කල හා නොකල කුමනාකාරයට පැමිණියත් මෑත කාලයේ දක්නට හැකි වීශේෂිතම ලක්ෂණය නම් ඉතාමත් මනබදනා හා ලගන්නා ආකාරයට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් හා රංගනයන් ඉදිරිපත් කිරීමය. “හිගන්නන්ගේ මොන ලගන්නාවක්ද” කියා කෙනෙකුට තර්ක කල හැකිය. එය නිවැරදි තර්කයක් වීමට පුළුවන නමුත් මා මෙහිදී පහදන්න උත්සහ ගන්නේ ඉතාමත් රළු පරළු මනුස්සයකුගේ උවද හද පැහැර ගන්නා සුළු ආකාරයෙ රංගනයන්ගේ යෙදීමට ඔවුන් සමර්ථකම් පානා බවය.

ඉතාමත් රළු පරළු මනුස්සයකුගේ දර දඩු ගල් හිතක් උවද චීස් බටර් මෙන් උණුකර දියකර ඔවුන්ගෙන් පවා ගානක් කඩා ගන්නා ආකාරයට ද සත්‍ය අසත්‍ය වංචාව ප්‍රෝඩාව කවරක් හෝ වේවා ඉතාමත් අධි තාත්විකව ඒ ඒ භාවයන් ඉදිරිපත් කිරීමට වර්ථමාන යාචකයා තමාගේ ප්‍රාසාංගික හැකියාවන් පෝෂණය කරගෙන සිටී. එය සුපර් ස්ටාර්ස්ලා තෝරන වැඩසටහන් නැරබීමෙන් උකහා ගත් ප්‍රාසාංගික හැකියාවන් දැයි අපි නොදනිමු. ඒ කෙ‍සේමුත් ඒ ඉදිරිපත් කිරීම් හමුවේ අසරණ වන අප අපගේ අත රැදි කාසි කිහිපයක් හෝ නෝට්ටුවක් දික් කිරීමට තරම් පපු නැත්තෝ නොවෙත්. මෙසේ මුදල් ලබා දීමේන් අප ඔහුගේ වංචාවකට අහුවුනාය කියන් මතයේ නොපිහිටා මෙවන් අවස්ථාවක් හෝ සැගවී සිටි මනුසත් ධර්මය අවදි වූවා නේද යන මතයේ පිහිටන්නේ නම් යහපති.

එනමුත් මෙහි කාහටත් මතුපිටින් පෙනෙන පවු පින් වලට වඩා නොපෙ‍නෙන තව පවක් පිනක් හෝ හොද නරකක් සැගව තිබේ. ඒ නම් අප ඉදිරියට අතපාමින් එන ඔවුන්ට අප සැලකිය යුත්තේ ඔවුන් නැතිබැරි කම් නිසාවෙන් සොරකම් නොකරන නිසාය, මැරකම් නොකරන නිසාය, මාල වලලු කරාබු කඩා නොගන්නා නිසාය, පික් පොකට් නොගසන නිසාය. ගණිකා වෘත්තියේ නොයෙදෙන නිසාය. අනාචාරයේ නොහැසිරෙන නිසාය.

එනමුත් එසේ අපට අතපාන කාහාටත් සැලකිය යුතුද? එක අතක් කැඩුනට එක කකුලක් අහිමි උනාට ශරීර ආබාධයක් නිසාවෙන් හෝ අසනීප තත්වයක් නිසාවෙන් ඔහුට වැඩක් පලක් කර ගැනීමට හැකියාවක් නැද්ද? තම ස්වාමියා තමාව හා තම කිරි දරුවන් අතහැර ගිය කාන්තාවන්ට අතපානවා හැර වෙන විකල්පයක් නැද්ද? ඔවුන්ට කරගත හැකි හා ගැලපෙන කිසිදු රැකියාවක් නැද්ද? රැකියා තිබුනත් අවස්ථාවක් නැද්ද? වෘත්තීය සුදුසු කම් තියෙන අයවලුත් රැකියා ප්‍රශ්නෙක සිටින වකවානුවක ආබාද වූවෙකුට අසනීප වූවෙකුට රැකියා අවස්ථාවක් ලැබෙයිද? තම දරැවන් රැකබලා ගනිමින් රැකියාවක නිරත විය හැකිද? ස්වයං රැකියාවක් කරන්න බැරිද? ස්වයං රැකියාවක් කරන්න තරම් ප්‍රාග්ධනයක් නැද්ද? ස්වයං රැකියාවක් කරන්න දන්නේ නැද්ද? ස්වයං රැකියාවක් හෝ රැකියාවක් කරන්න උනන්දුවක් නැද්ද? රැකියාවක් ලැබුනත් එමගින් ලැබෙන වේතනය ඔහුටත් ඔහුගේ රැකවළුන් පෝෂණය කරන්ටත් ඔහුගේ රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගැනීමටත් තරම් එය ප්‍රමාණවත්ද? රැකියාවක් කරනවාට වඩා වැඩිපුර හම්බ කරන්න පුළුවන්ද? නමුත් එ වැනි කිසිදු නොහැකියාවක් නොමැති කෙනෙකුට අප අත රැදි රුපියල හෝ දිය යුතුද? එවැනි කෙනෙක් හදුනා ගන්නේ කොහොමද? කාට උනත් දුන්දේ සුවදයි නේද?

යාචකයකුට රුපියලක් දීමේන් අපි ඔහුව යාචක වෘත්තීයට පෙලබවීමක් ඇති කලා නේද? එයින් රටට වැඩක් කල හැකි අයකුගේ ඇග අතපය බැද දැමීමට සහයෝගයක් දුන්නා වෙනවා නේද? ළමයින් රැගෙන පැමිණෙන අයට සැලකීමෙන් අපි ඒ ළමයින්ගේ ළමාකාලය සොරාගැනීමට සහයෝගයක් දුන්නා නේද? ඒ ළමයින්ව කුඩා කාලයේ සිටම යාචක වෘත්තියට මාර්ගෝපදේශයක් ලබාදීමට සහයෝගයක් ලබා දුන්නා නේද? රටට තවත් එක් කාලකණ්නියෙක් එකතු කිරීමට සම්මාදමක් කලා වෙනවා නේද? යාචක මව්වරුන් අතරැදි දරුවන් නිතරම නිදි ඒ ඔවුන්ට මත් ද්‍රව්‍ය ශරීර ගතකර ඇති නිසා බව ඔබ දන්නවාද? එහෙනම් අප, කිරිකැටියෙක් රෝගියෙක් කරන්ට සහයෝගයක් ලබා දුන්නා නේද? අපි රෝගියෙකුට බෙහෙතක් ගන්න පුංවි සහයෝගයක් දුන්නා නේද? අසරණ අම්මෙකුට තම දරුවන් රැක ගන්න උදව්වක් කළා වෙනවා නේද? අසරණයෙකුගේ පවුලක් නඩත්තු කරන්න, උන්ගේ බඩට බත් ඇටයක් දාන්න උදවුවක් කළා වෙනවා නේද?

සමහර විට ඔවුන් යාචක වෘත්තියට පිවිසෙන්න ඇත්තේ වෙන කිසිම විකල්පයක් නොමැති තැන වෙන්ට ඇති නේද? මානසික ආතතියකට ලක්වෙලා උපරිම වුන තැන සිය දිවි නසා ගැනීමට වඩා හිගා කෑම ප්‍රඥා ගෝචරයැයි සිතු නිසා වෙන්ට නේද? ගණිකා වෘත්තියේ යෙදෙනවාට වඩා හිගා කෑම ‍ගෞරවාන්විත යැයි සිතු නිසා වෙන්ට ඇති නේද? හොරකම් කරන්ට මැරකම් කරන්ට බය නිසා වෙන්ට ඇති නේද? එසේ නම්,

යාචකයකුට රුපියලක් නොදීමේන් හෙට තවත් එක් සිය දිවි නසා ගැනීමක් වාර්තා වෙයි නේද? ලබන අවුරුද්දේ තවත් බන්ධනාගාරයක් මේ පොළව මත ගොඩනැගෙයි නේද? අන්ධකාරයේ වීදි බසින ලදුන් අතරට අද හැන්දෑවට තවත් එක් කාන්තාවක් එකතු නොවේයි කියලා කියන්ට පුළුවන්ද?

ඔබට වෙන කල්පනා කරන්ට දෙයක් ඇත්තේම නැතිනම් හා කාලය වැඩිපුර ඇතිනම් ඔබට කාල වේලා ඇති හැකි පමනින් එවැනි එකකට එකක් පටහැනි මාතෘකා දහසකුත් එකක් ඔස්සේ කැමති මාතෘකාවක් තෝරාගෙන ඇති හැකි තරමක් කල්පනා කිරීමට කිසිදු තහනමක් නැත.

2009/09/10

සනත් ජයසුරිය

කොර ගසමින් සිටි ශ්‍රි ලංකා කන්ඩායම ඊයෙ යන්තමට ගොඩ ගියෙ සුපුරුදු පරිදි ප්‍රධාන පෙලේ පිති කරුවන් සියලු දෙනා නැවතත් ඉතාමත් අසාර්ථක වෙමිනි. ඩිල්ශාන්, සනත්, මහේල, සංගා ඉතමත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දි තිලන් සමරවීර හා නවක ක්‍රීඩක ඇන්ජෙලො මෙතිවුස් කන්ඩායම යම් මානයකට ගෙන අවෙය.