2011/11/26

සද අද තනි වී


නිම් නැති අහසේ
සද අද තනි වී
තරුවක් නැති වී
සෙවුවා අහසේ
සෙවුවත් අහ....සේ..........
තරුවක් ගා....නේ...........
මා ළග උන් ඒ
තා..රු
කුමරී නැහැ නේ

සද ළග උන්.......... තරු කුමරී.....
සද වෙනුවෙන්...... උන් කුමරී.....
සද අතහැර............ ගිය කුමරී.....
සද හැඩුවා...... .....මයේ කුමරී.....

සද නැති නම්....... මා නැතිවා.....
සද විතරයි......... මයේ කුමරා.....
සද තුරුලේ.............. කී ඒවා.....
සද නැහැ අම.......තක කරලා.....

2011/10/18

කන්ද උඩරට


කන්ද උඩරටින් සැලේවී වගේ පිනි මුතු
කඩා හැලෙන දිය සළු වැනි සීත පිනි බිදු
තෙමා නහවා නංවා කය සීත හිරි ගඩු
නිවා ගිමන තවා ලමැද කරයි සිත් තුටූ

ගැටබේ බෝධිමළුවේ සිලි සිලිය පරයන
හෝ හඩ දී ගලා ඇදෙන නදිය අසබඩ
මල් පියවිලි මතින් හමන සුවද අරගෙන
සරසවි සමනලියන් වෙයි සිනා පුරෝන

එකපිට එක බීදී නැගෙන නීල රළ පෙල
රොබරෝසීයා මල් සිබගෙන ඉවුරට ඇදෙන
බෝගම්බර වැවට එපිට දිස්නෙන් දිලෙන
රන් සිවිගෙය දලදා හිමි වැඩ වාසය කරන

2011/09/17

කාලෙකට පසු ආලේ මෝරා

මං ලගට වෙලා බොලද කථා
කියාපු කෙල්ලේ
දැන් නැහැනේ ඇයි නැත්තේ
ඔයාගේ සද්දේ‍


යන්න අනේ චාටු කථා
කියාන එන්නේ
මම දන්නවා පොල් පැලේට
කියලා එන්නේ


ඇයි අම්මේ මගේ මැණිකේ
ඔහොම කියාන්නේ
චුට්ටක් හරි ඔයිට වඩා
දෙන්නකෝ ආලේ


කැරකි කැරකි මගේ වටේම
වගේනේනේ පූසා
මොකද මන්ද කාලෙකට පසු
ආලේ මෝරා


පුන් සද වන් මගෙ මැනිකේ
ගමටම සිරියා
රෑසිරි නුබේ තාමත් නැත
ගිහින්නේ මැකිලා


මගෙ අම්මේ මෙහෙමත් බොරු
ගොතනා මිනිහා
මේච්චර කල් රෑ සිරැ මගේ
නොකීවු කොටියා


සූකිරි කැටේ වගේ තාම
පාසල් කාලේ
මතක් වෙනවා නියර දිගේ
ආගිය තාලේ


හොර නරියා මග රැකලා
ලීලේ පාලා
සීල් බිදලා දොරගුල් හැර
ආවා පෝදා


2011/05/17

දෝහා සිට වවුනියාවට

සෑහෙන කාලයකට පස්සේ මේ පැත්තට ආවේ. දෝහා ඉදන් නිවාඩුවකට ලංකාවට ආවට නිවාඩුව ඉවර කරලා ආපහු යන්න හිත නොදුන්න තැන මෙහෙ රැකියාවකට ඇප්ලයි කරන්න කියලා හිතලා ටොප්ජොබ් එක පැත්තේ රවුමක් ගැහුවහම වේකන්සියක් දිලිසි දිලිසි තිබුණා. ඒකට සීවි එක සෙන්ඩ් කලාම හෙට ඉන්ටර්වීව් එන්න කියලා කෝල් කලා. ඉන්ටවීව් ගියහම හෙට රාජකාරියට වාර්ථා කරන්න පුළුවන්ද ඇහුවාහම ඒකත් ඕකේ කියලා රාජකාරියට වාර්ථා කලා. දැන් සහෘදයා වවුනියාවේ. වවුනියාවේ කිවුවට වවුනියාවේ කැලෑවක‍.

අළුතෙන්ම පටන් ගත්ත ව්යායපෘතියක් නිසා තවම ඉන්ටර්නෙට් නැහැ. අපි ඉන්න ඉසවුවට ජීඑස්එම් තරංගත් ඉතාම දුර්වලයි. SMS වලින් තමයි පුද්ගලික සන්නිවේදන කටයුතු දැනට කරකියා ගන්නේ. රාජකාරී කටයුතු සදහා CDMA පිහිටයි. මම හරිම ආසාවකින් හිටියේ මේ පැත්තේ ජීවන අත්දැකීමක් ලබා ගන්න‍. ඒ නිසා එක පයින් කැමති වෙලා පහුවදාම රැකියාවට වාර්ථා කලා. මාසයක් තුළ පරස්පර සමාජස්ථරයන් දෙකක් අතර වෙනස අත්දැකීමක්ව විද ගන්න අවස්ථාව මට උදා උනා.

දෝහා වල ඉද්දී ඉතාම කාර්යබහුල මෙන්ම නාගරික හා අර්ධ සු‍ඛෝපබොගි ජීවන රටාවකට හුරුව සිටි මා දැන් වවුනියාවේ කැලයක නිහඩ නිසංසල හුදකලා ජීවන රටාවකට හැඩගැහෙමින් සිටිනෙමි. මා හුදකලාව ප්රි යකරන්නෙක් වන බැවින් මේ වෙනස ඉතාම තෘප්තියෙන් වැළද ගත්තෙමි.

ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න නම් වවුනියාවේ ටවුමටම එන්න සිදුවෙයි. ටවුමේ සිට සෑහෙන දුරකින් අප සිටින හෙයින් දිනපතා ටවුමට පැමීණිමට අවස්ථාවක් නැහැ.

මේ පාරත් කවි මඩුව ඉතාම උත්සවත් ශ්රිමයෙන් පැවැත්වීමට ලාංකීය සිතිවිලි කටයුතු සංවිධානය කරමින් සිටින බවක් දැනගන්නට ලැබුණා. නමුත් මේ පාර මට කවියක් කියන්න අවස්ථාවක් නැති වීම ගැන හරිම කනගාටුයි. සිංහල බ්ලොග්වාසී සියළු සහෘදයන් කවිමඩුව හා ඒකාත්මික වී දින දින අළුත් අළුත් වැඩ කරන ලාංකීය සිතිවිලි මේ සංවිධානය කරන්නට යෙදුනාවූ මේ මහගු සංවිධාන සත්කාර්යයට සහයෝගය දී ඔබගේ කවීත්වය දියුණු තියුණු කර ගනිමින් මිනිස්කම් සහෘද හිතවත් කම් වඩ වඩවා ගනිමින් කවියේ මිහිර පහස සුවය අත් විදින මෙන් සහෘදයා සහෘද ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර මෙවර කවි මඩුවෙන් ගිය වර 3500ක් වු කවි පංති මෙන් දෙගුනයක කවි සයිබර් අවකාශයට එකතු වන ඉතාම සාර්ථකම කවි මඩුවක් බවට පත්වේවා යැයි මා එක් සිතින් සුබාශිංෂණ ප්රාවර්ථණා කර සිටිමි.

ඒ වගේම ගිය වර කවිමඩුවේ පෙරළි කල අපේ ඉළංදාරියා අද මහනුවර මහරෝහලේ ගිලන්ව සිටින බවත් අමතක කරන්න එපා. මේ දැන් මා ඔහුගේ මල්ලිට කෝල් කල අවස්ථාවේ ඔහු පැවසුවේ ඉලංදාරියා මහනුවර මහ රෝහලේ ICU එකේ ඉතාම අසාධ්යේ තත්වයක ගිලන්ව සිටින බවයි. වෛද්යරවරුන් පවසා ඇත්තේ ඔවුන්ගේ සියළු ක්රිෙයාකාරකම් සිදුකර අවසන් බවයි. මේ වෙසගේ ඔබ යනනෙන වෙහෙර විහාරයන් හී අපේ සහෘද ඉලංදාරියා වෙනුවෙන් ප්රාඅර්ථනා කරන්න. ඔහු නැවත මේ බ්ලොග් අවකාශයේ සිටුවා තබන්න ඔහුගේ දෙසවන් පිනවා දෙන්න ඔබගේ ප්රාඅර්ථනාවන් ඔහු වෙනුවෙන් කැප කරන්න. මාගේ වර්චුවල් මිතුරා සයිබර් යායේ ඉලංදාරියා උබ ආපහු දෙපයින් නැගිටින්න ඕනේ. උබේ කවි අපිව පිනවන්න ඕනේ. උබගේ විහිළු තහළු වලින් අපි හිනස්සවන්න ඔනේ. ඒ නිසා කොල්ලෝ උබ හැකි විගහින් නිදුක් වේවා. නිරෝගි වේවා. සුවපත් වේවා.

2011/04/13

මතකද මේ ගීතය

සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන්
සැනැහෙන අප සිරි ලක් දරුවෝ //
දහම් පාසෙල් සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණදම් සිත දැරුවෝ //


පස් පවු දස අකුසල් දුරලා
ඉසිකෝමන් හැම බිද හැරලා
මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා //


සොමි වුවනින් දුටු දුටුවන් පිනවන
පිය තෙපුලෙන් ඇසු ඇසුවන් සනහන
හද බැතියෙන් නිති තෙරුවන් නමදින
උදාර ගුණ දම් සිත දැරුවෝ
අපි වෙමු සිරිලක බොදු දරුවෝ///


සෝමපාල රාජකරුණා

2011/04/05

සහෘදයාගේ සයිබර් අවුරුද්ද ගෙවුනු හැටි

පාන්දර දෙකට ඇහැරලා ලක ලැහැස්තිවෙලා තාත්තිට කියලා ටවර් එක ගාවට ගෙනත් දා ගත්තා. ප්‍රියන්ත අයියා 3.45ට ටවර් එක ගාවට එන්න කීවට මගේ වෙලාවට කලියෙන් වැඩකිරීමේ පුරුද්ද නිසාම 3.30ට ටවර් එක ගාවට ඇවිත් 3.50 ට ප්‍රියන්ත අයියට කෝල් එකක් ගත්තහම ඔහු කීවේ තව විනාඩි 20ක් වාහනය පරක්කුවන බැවින් ගැටබේ පන්සල ගාවට එන ලෙසය. ඔන්න එතනට ගිහින් පැය භාගයකට විතර පස්සේ වැන් එකක් ඇවිත් නතර කරලා මාව දා ගත්තා. සයිබර් අවකාශයේන් ඔබ්බට ප්‍රථම වතාවට මුහුණ 3ක් දැක ගත්තා. ප්‍රියන්ත අයියා, සුදු හංසි හා රැඩිකල් කවියා අයියත් ඒ තුළ හිටියා. ඒයාලට හායි හෙලෝ සුබ උදෑසනක් ගුඩ්මොර්නිග් නයිස් ටු මීට් යු කියලා මීටර් 300ක් විතර යන කොට කැම්පස් එක ගාවින් සංජුගේ සයිබර් සටහන ලියන සංජු අක්කත් ගොඩවුනා. ඊට පස්සේ අලි පැටියෙක් වගේ දෙවුලොවින් පැමිණි ළමයත් එකතු වුනා. එතනින් ආගිය තොරතුරු කථා කරගෙන එනින් ගමන ඉලංදාරියාවයි මලයයි එකතු වෙන මාවනැල්ලට ආවා. එතන ඉංලදාරියා එනකන් විනාඩි 10ක් විතර ඉන්න වුනා. ඔන්න ප්‍රථම වතාවට ඉලංදාරියගේ මූනත් දැක ගත්තා.

ඔන්න ඉලං එක්ක අදහස් හුවමාරු කරගන්නේ කොහොමද කියන පැනය මතු උනේ එතනදි. කිවුවට මොකද ඉලං නම් කටර් එකක්, කථා පෙට්ටියක්, කියවනවා කියවනවා කටට විවේකයක් ඇත්තෙම නැහැ. ඉලංගේ විහිලු කථා වලට ළමයටයි මටයි රැඩිකල් කවියටයි හුස්මක් කටක් ගන්න නැහැ හිනා වෙලා. සුදු හංසි එයාගේ අම්මා සංජු ප්‍රියන්ත අයියා ඉලංගේ මල්ලී වෑන් එකේ ඉස්සරහා කොටසේ හිටිය නිසා එයාලා වෙනම කදයක් දා ගෙන ගිය හෙයින් ඉලංගේ කථාවලට අවදානයක් ඇතිවුනේ නැහැ. ඉලංගේ කථාවලට හූ මිටි තිබ්බේ අපි 3 දෙනාගේ මොබයිල් ෆෝන් පාවිච්චි කරලා තමයි.


ඉලංගේ කථා පෙට්ටියේ කථා රසවිදිමින් නිට්ටබුව හරියට එනකොට ලාවට සූ.................පාරක් ඇහෙන්න ගත්තේ නැතැ. අවාසනාවට ඇත්ත කථාවක් වුනේ ටයර් එකේ හුලං යන්න පටන් ගත්තට පස්සේ. ඒපාර කට්ටියම බැහැලා ටයර් එක මාරු කරන්න රථාචාර්යට උදවු වුනා. ඒක ටයර් එකක්ද ටියුබ් එකද්ද කියලා හොයා ගන්න බැරි තරමට ලස්සනට කට්ට ගෙවිච්ච ටයරයක් නිසා හුලං යන්න ඇති. ඊට පස්ස ඊටත්වඩා ලස්සනට කට්ට ගෙවිච්ච කම්බි දිලිසෙන අතිරේක ටයරයත් මාරු කරගෙන හෙමින් හෙමින් ටයර් කඩයක් හොයාගෙන ආවත් උදේ පාන්දර නිසා ටයර් කඩයක් හොයා ගන්න බැරි වුන තැන ඒ අදහස අත් හැරලා උදේ කෑමට කඩයක් අල්ලලා අපේ සුපිරි වෑන් රථය නතර කලා. ඔන්න දෙවෙනියටත් අවාසනාවට ඇත්ත කථාවක් සිද්ධ වෙන්නේ එතනදි. අපේ වෑන් එක එතන තිබුණු ජීප් එකක් ගාව ලාවට පාක් කරලා එන්ජින් එක ඔෆ් කලා විතරයි ආයෙම සූ..................පාරක්. අම්මට හුඩු අපේ වෑන් එකේ ටයර් වල හුලං යන වෛරස් එක අර ජීප් එකට ඇටෑක් කරලා. ඒ ජීප් එකේ පස්සේ ටයර් එකෙන් ලස්සනට හුලං යනවා. අපේ මොකෝ කියලා අපි ගිහින් අපේ වැඩේට සෙට් උනා. ඕන් ඒපාර මම පොරොන්දු වුන කඩලගොට්ට වෙනුවට මගේ ගානේ ලාවට බ්රෙික්ෆස්ට් එකක්ම අරගෙන එතනින් පිටවුනා.


ඔන්න ඊට පස්සේ දෙමටගොඩට ආවහම ඩ්රෙයිවර් බුවා අහපි දැන් කොහාටද කියලා. මෙන්න බොලේ කොල්ලා අදමද කොහෙද කොළඹ වාහනයක් අරන් ඇවිත් තියෙන්නේ. කියපංකෝ දැන් පාර, මාත් ඉතිං නොදන්න ඒදන්ඩක් නැති නිසා ඔන්න ඔතනින් වමට අතනින් දකුනට කියලා කෝ ඩ්‍රයිවර්ගේ පාට් එකත් කලා. රැඩිකල් කවියාත් සයිඩ් සපෝට් එකක් දුන්නා. ඕන් තුන්වෙනි අවාසනාවට ඇත්ත කථාව පටන් ගත්තේ බොරුල්ල ටවුන් එක පහුකරන ගමන්. මල්ලි ඔය ඉස්සරහා වටරවුමෙන් ජයරත්න එක ගාවින් තියෙන බෞද්ධාලෝක මාවතට හරවන්න ඕන ඒ නිසා වාහනය මැද ට්රැක් එකට ගන්න. ගත්තා තමා වම්පැත්තේ ට්රැක් එකේ ආව අපි උස්සලා තිබ්බා වගේ දැම්මේ නැද්ද මැද ට්රැක් එකට ඩ්රගයිවර් කොලුවා කිසිම පැකිලීමක් නැතිව. ඔන්න සුදුඉරි අයියෙක් ගැහුවා විසිල් එක තරු විසිවෙන්න. ඔන්න එතනත් පැය කාලක් විතර චාටර් වෙවී ඉන්න කොට ප්‍රියන්ත අයියගේ තැනට සුදුසු නුවන පහල වෙලා ඔබ තුමාලගේ අහවල් ලොක්කා සහභාගි වෙන උත්සවයකට අපි හදිසියෙන් යන්නේ කියලා ඇග බේරගෙන එතනින් ගැලවිලා කෝමෙන් හරි ග්‍රවුන්ඩ් එකට ආවා.

නුවර නඩේ ග්‍රවුන්ඩ් එකට එනකොට කිහිප දෙනයි හිටියේ මම ප්‍රථම වතාවට සයබර් හමුවීමකට සහාභාගි වන හෙයින් ගොඩක් අය රූපකායෙන් හදුන ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. වැපාත් පසන් හා අහිංසකී යුවලත් කෙහෙල්කොටුවේ චූටි මාහත්තයා හා හෙළදිව මැරීයන් යුවලත් රන්දිල් ෆැමිලි එකත්, රවාත් එකපාරටම අදුනගන්න ලැබුණා. කථා බස් කරලා අනිත් අයත් හදුනගත්තා. ඒ අතරින් ඉද්‍රනාම, හසී අක්කා, නිරංජී, චතුරංග රූපසිංහ, සෝරෝ, ඩොල්ෆින් , පූසා, සුපුන් සුදාරක යන අය නම් වශයෙන් මතක තිබුණ අයගෙන් කිහිපදෙනෙක්.

ඉට පස්සේ සංවිධායක මන්ඩලයේ සංවිධායක කටයුතුවලට පොඩි සහයෝගයක් දිලා පැත්තකට වෙලා ඉදගෙන හිටියා. ඊට ඉස්සරින් දවසේ රෑ සිංහ පැටවුන්ගේ වීරකම්වල වීරත්වය විදගනු වස් අපේ ගෙදර සංවිධානය කලා වූද මා විසින් කුක්කලා වූද කොත්තු පාටියේ කොත්තු වල පවර් එක වැඩකරන්න පටන් අරන් තිබුණු නිසා බොහෝම අමාරුවෙන් පැත්තකට වෙලා සිටින්නට සිදුවිය. කොත්තු පවර් එක නිදහස් කරනු වස් තැනක් බැලුවත් තිබුණු එකම තැන ගැන පැහැදිමක් නොතිබුණ හෙයින් අපහසුව දරාගෙන සයිඩ් ගහලා ඉන්නවා ඇරෙන්න එකදු ක්‍රීඩාවකටවත් ක්‍රියාකාරීව සහබාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දවල් වෙද්දී අපහසුව උපරිම වුන නිසාවෙන් අකමැත්තෙන් උවත් තිබුණු එකම විකල්ප අවස්ථාව පාවිච්චි කරන්න සිද්ධ වුනා. ඔන්න ඉන් පස්සේ නම් තරමක් දුරට යථා තත්වයට පත්වුනා.

දවල් වෙද්දි ඩුබායි වට්ටක්කා ලියන පුතා සෙට් වුනා. පුතාත් නුවර වෙච්චි අහල පහල පාසල් වලත් වෙච්චි පිටරටවල් වලදී බ්ලොග් අවකාශය ඔස්සේ හදුනාගන්න වුනා වෙච්චි දෙනොම නිවාඩුවකට ලංකාවට පැමිණ සිටියා වෙච්චි එකේ පොඩි කයියක් දාගෙන හිටියා. ඊටපස්සේ පාසල් කාලේ මගේ පංතියේ සගයෙක් වෙච්චි ඉලංදාරියාගේ හොදම මිතුරා වෙච්චි අසංග හා එයාගේ වෙන්ට නෝනා ආවා. පස්සේ එයාලත් එක්ක කදයක් දාගෙන හිටියා. ඔන්න සංවිධායක මන්ඩලයේ සාමාජිකාවක් මා මිතුරාගේ වෙන්ට නෝනව බලෙන්ම වගේ සිහින කුමරි තරගයට අංක 7 යටතේ යොමුකලා. ඊටත් පස්සේ මා මිතුරා අසංගගේ මල්ලී හා එයාගේ වෙන්ට නෝනාත් ආවා. අසංගගේ වෙන්ට නෝනා සිහින කුමරිය තරගයට ඉදිරිපත් වෙන්න වැඩි කැමැත්තක් නොතිබුණ නිසා මල්ලීගේ වෙන්ට නෝනාව තල්ලුකරගෙනම වගේ ගිහින් සිහින කුමරී තරගයට යොමුකලා. තල්ලුකරගෙන ගියාට මොකද අන්තිමට එයාම තමයි සිහින කුමරිය වුනේ.

ඒ අතරේ බ්ලොග් සුපිරි තරුව දුකා ෆලයිට් එකත් අතේ තියාගෙනම හදිසියේම පැමිණ සිටියා. එකසිය එකට දුකා වටකරගෙන කට්ටිය ෆොටෝ ගන්නවා බදාගන්නවා කථා කරනවා. දුකාට කිට්ටුවටවත් යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පස්සේ කට්ටිය එහෙ මෙහෙ වෙනකන් ඉදලා වචන කිහිපයක් කථාබහ කරන්න අවස්ථාවක් උදාකරගත්තා.

දවල් කෑම එහෙමත් අරගෙන සයිබර් කුමර කුමරියන්ට චියර් පාරක් දීගෙන ඉන්නකොට ඈත එහායින් ලස්සන ම ලස්සන හිනාවකින් මුව සරසාගෙන සුන්දර කුමාරිකාවක් අතවනනවා. බැලින්නම් මා සොදුරු බිලොග් මිතුරිය ස්වප්නා. ඕන්න ස්වප්නවත් හදුනා ගත්තා. ස්වප්නා එයාගේ වෙන්ට හබී මහත්තයත් එක්ක ඇවිත් හිටියේ. ස්වප්නත් එක්කත් කදයක් දාගෙන හිටියා ටික වෙලාවක්.

පස්සේ කඹ අදින කන්ඩායම් නම් දෙන්න කීවට පස්සේ දවස පුරා එකදු ක්‍රීඩාවකටවත් සහභාගි වෙන්න බැරිවුන එකේ කඹවත් අදින්න ඕන කියලා හිතලා දැම්මා නුවරින් අපේ කන්ඩායමක්. මම, ළමයා, අසංග, අසංගගේ මල්ලී, අසංගගේ වෙන්ට නෝනා හා අසංගගේ මල්ලිගේ වෙන්ට නෝනා හෙවත් සයිබර් සිහින කුමරිය අපේ කන්ඩායමේ 6 දෙනා උනා. හත්වලාමයි අන්න අරපැත්තේ බුද්ධී යෝධයත් ඉන්නවා. ඒ වෙලාවේ නම් තරගය අතහැරලා දාලා ආත්මගෞරවය රැක ගතයුතුයි කියන ඝෘනාත්මක කපුටෝ ඔළුව වටේ කරකැවෙන්න ගටන් ගත්තත් කැන්ඩි කොල්ලෝ කවද්ද සෙකන්ඩ් වුනේ කියන ධනාත්මක කොක්කු විසින් එළවා දමා දැඩි අදිටනින් තරගයට අවතීර්න උනා. තරගය පටන් ගත්තා විසිල් එක ගැහුවා දැම්මා ඩම් එක මෙන්න බොලේ කොළඹ ටීම් එක කැන්ඩි සයිඩ් එකට එනවා හිමේ ලිස්සන පෙන්ගුවින්ස්ලා වගේ. ඒවටය අපි දින්නා... හයියෝ......දෙවෙනි වටයට පැත්ත මාරු කලා....ගැහුවා විසිල් එක. දැම්මා ඩම් එක හයියෝ.......මෙන්න සීනි බෝතලේට ඇදෙන ඇඹලයෝ වගේ ඇදිලා එනවා අපේ පැත්තට...ඒ වටයත් අපි දිනුම්.... අයියෝ කිසිම ගේමක් තිබුණේ නැහැ. දැක්කනේ කැන්ඩි කොල්ලන්ගේ ෆිට් එක...ඒත් තෑගි නැහැ අප්පා..

තෑගි නැහැ කියලා දුකෙන් ඉන්නකොට බුද්ධියට දුක තේරිලාද කොහෙද බුද්ධි අතේ තිබුණු පොත් දෙකක් දුන්නා....හනේ..එක පොතක නම ළමයි හදන හැටි....බුද්ධිටයි මැරින්ටයි මල් හතට සිත්තුටින් බර වෙලා පැතු පැතුම් ඉටුවේවා කියලා හිතලා ඒක අරගත්තා.

පස්සේ DJ එකට ඩාන්ස්පාරකුත් දාලා එන්න සෙට් වුනා..පස්සේ දන්න කියන හැමෝටම කථාබහ කරලා එන්න පිටත් වුනා. එන්න ලැහැස්තිවෙලා කට්ටිය ගනින කොට එක්කෙනෙක් අඩුයි..අයියෝ සංජු හොරාටම කලියෙන් ගිහින්...දැන් මක් කරන්නද...පස්සේ අපි පිටත් වුනා....කඩවත හරියෙදි ප්‍රියන්ත අයියා ෆෘට් ජුස් සමග වයිබරේට් ඩ්‍රින්ක්ස් අරන් දුන්නා(කොකාකෝලා). යක්කල හරියෙදි රැඩිකල් කවියා අයියා ලුණු මිරිස් කුඩු දාපු අන්නාසි අරන් දුන්නා...ඒකනම් මල් හතයි ආහ්....පස්සයාල හරියෙදි තේ බිවුවා...ඒකට සපොන්සර් කලේ ඉලංගේ මල්ලිද කොහෙද. ඊට පස්සේ ළමයා මල් හතට නින්දක් දැම්මා..ඉලං ඉස්සරහා සීට් එකේ හිටිය නිසා කථා පෙට්ටිය විවෘත කලේ අතරින් පතර. සුදු හංසි යි ප්‍රින්ත අයියයි දවසේ වැඩකටයුතු සම්පින්ඩනය කරමින් සිටියා. ඒ අතරේ රැඩිකල් කවියයි මායි බර මාතෘකා ටිකක් සාකච්චා කලා....කවිය හා කවිය අවියක් කරගන්නා හැටි, චිත්‍රපටි සාහිත්‍ය හා කලාව මෙන්ම විචාරයන් ගැන කතාකර කර ගියා. බාලාගෙන ගියහම රැඩිකල් කවියා පිස්සුම රැඩිකල් වාදියෙක් තමා. එහෙම පිටින්ම මුළු සර්වාන්ගෙන්න රැඩිකල්. නියපොත්තේ සිට මයිල් ගහ දක්වාම රැඩිකල්. සමහර බර වචන අල්ල ගන්න කිහිප විටක් හිතන්න සිදුවුනා. අපි දෙන්නගේ චිත්‍රපට පිළිබවද දැක්ම නම් එකම ට්‍රැක් එකක යනවා කියලා හිතුනා.

ඔන්න කෝම හරි අපේ බර කථා නිසා නුවරට එනකම්ම දැනුනේ නැහැ. ඉස්සරෝම බහින්න ගියේ ළමයා. ළමයා මගින් බැහැ ඉතුරු ටික පයින් යන්නම් කියලා තරයේ කියා සිටියා. ප්‍රියන්ත අයියයි සුදු හංසිගෙයි බලවත් පෙරැත්ත නිසාම ගේ කිට්ටුවටම ගිහින් බහින්න අකමැත්තෙන් වුනත් කැමති වුනා. බැලුවහම මොකද මේ ගේ ගාවට වාහනේම යන්න අකමැති කියලා පස්සේ තමයි වැඩේ තේරුනේ. මොකද දන්නවද ළමයගේ ගෙදරට යන පාරේ නම ගොරකාපුර මාවතද ගොරකා අත්ත මාවතද මොකද්ද එකක්. තේරුනානේ වැඩේ. ගොරකයා කියලා කාඩ් වැටෙයි කියලා වෙන්ට ඇති. දැන් ඔන්න සත්‍ය සමාජගත වෙලා හමාරයි ගොරකපුතා.

ඊට පස්සේ ටවර් එක ගාවින් මමයි ඉලංදාරියයි එයාගේ මල්ලියි බැහැ ගත්තා. බහිනකොට සුදු හංසි දවල් කෑමට ගෙනාපු කෑම පාර්සල් වලින් ඉතුරු වුන ඒවාගෙන් පාර්සල් දෙකකුත් මට දුන්නා. ඉලංදාරියටත් පාර්සල් දෙකක් දුන්නා. ඊට පස්සේ ඉලංදාරියා මාතලේ යන්න බස් එකට ගියා. මම අපේ ගමට යන බස් එකට සෙට් වුනා. ගෙදර යන කොට 10ට විතර ඇති. ගෙදර ගිහින් නාකියගෙන ආපහු කොම්පියුටර් රාජයාට කිට්ටුවෙලා නිකමට ලොග් වුනා බුකියට. හයියෝ........මෙන්න පැය කිහිපයකට කලියෙන් එකට හිටිය රොත්ත බුරුත්තම එතන......ඔන්න ඔහොමයි අපේ සයිබර් සිහින උලෙල නිමා උනේ හා ඔන්න ඔහොමයි සයිබර් ජිවිතය ගෙවෙන හැටි.

2011/01/29

සිංහල බ්ලොග් අවකාශය හා නව උප සංස්කෘතිය

සිංහල බ්ලොග් අවකාශය යනු තවත් එක් සයිබර් නාඩගමක් නොවේය. ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් වලින් එහාට ගිය අපූර්ව සුන්දර ස්ථානයකි. එය ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් නම් බීජ වගුරුවා මිනිස්කම අවංක කම ලබැදිකම මිතුරු කම ඵලදාවන් ලෙස නෙලා ගන්නා වූ සාරවත් ගෙවත්තකි. එම ඵලදාවන් සාරවත් ඵලදාවන් බවට පත් කරගැනීමට ගූගල් බස් නම් කාබනික පොහොර හේතුකාරකයක් වෙමින් පවතී. උපන් දා සිට මුහුනට මුහුණ ඇසුරු කරන්නා වූ මිතුරන්ට නෑදෑයන්ට වඩා සීමාවන් පසු කරන්නාවූ ලෙංගතු කම් ඇති කරන්නාවූ ස්ථානයකි. අපට නොදැනුවත්වම සිංහල බ්ලොග් අවකාශය උප සංස්කෘතියක් බවට පත්ව ඇති සැටියකි. අපට නොදැනුවත්වම එකම පවුලක් වී ඇති සැටියකි. අපට නොදැනුවත්වම අප එක වහලක් යට ජීවත් වන සැටියකි. ශ්‍රී ලංකාවේ සතර කොනේ සිටියත් ලෝකයේ කොයි රටේ සිටියත් බ්ලොග් වාසී, සයිබර් වාසී වර්චුවල් පවුලේ අයෙකුගේ කිවිසුම පවා අන් අයට දැනෙන හැගෙන තරමට අප ලබැදියන් වී සිටිමු.

එපමනක් නොව සාමාන්‍ය සමාජයේ අපිට ඇසුරුකරන්න කතාබහ කරන්න ලැබෙන්නේ සම වයස් , සම වෘත්තීකයන්, සම සමාජ ස්තරයන්, සම ආර්ථික සහිත සියළු කරුණු කාරණාවන් වලින් අපට සමාන වන පුද්ගලයන්ය. වෛද්‍යවරයකු ආශ්‍රය කරන්නේ වෛද්‍ය ක්ෙෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ය. ඉංජිනේරුවකු ආශ්‍රය කරන්නේ ඉංජිනේරු අංශයට අදාල පුද්ගලයන්ය. බස් කොන්දස්තර කෙනෙකුට ආශ්‍රය කරන්න ලැෙබන්නේ ඒ ආශ්‍රිත පුද්ගලයන්ය. වෛද්‍ය වරයකු සමග හරි හරියට කදේ දමන්නට බස් කොන්දස්තර කෙනෙකුට තියෙන අවස්ථාවන් ඉතාමත් අල්පය. ඒ සදහා අවස්ථාවක් නැතයි කිවහොත් වඩාත් උචිත යැයි මට සිතේ. එනිසා අප සාමාන්‍ය සමාජ ආශ්‍ර ක්‍රමය ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමයක් යැයි නම් කළ හැකිය.

මෙම ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමය නිසා හුවමාරු වන අදහස් උදහස්, දැනුම ආකල්ප, ජීවන අත්දැකීම් මෙන්ම විහිළු තහළු එම එක් එක් ස්තරයන් හී පාවෙන තත්වයක් පවතී. එක් ස්තරයක දේවල් තවත් ස්තරයක් සමග මුහුවීමට අවස්ථාවක් නැතිය. ඒ හේතුවෙන් පහල ස්තරවල සිටින්නන්ට ඉහල ස්තරයන් වල සිටින්නන් ගේ සිතුම් පැතුම් හදුන්නනේ නැතිය. ඉහල ස්තරවල සිටින්නන්ට පහල ස්තරවල සිටින්නනගේ හෘද ස්පන්දනය ගැන වැටහීමක් නැතිය. මෙවැනි දේවල් හා දුර්අවබෝධයන් හේතුවෙන් ගැටුම් කාරී තත්වයන්ද ඇතිවන අවස්ථාද අප අසා හදුනා හා අත් දැක ඇත්තෙමු.

නමුත් සයිබර් අවකාශය ඔස්සේ, බ්ලොග් ගොඩැල්ල ඔස්සේ, ගූගල් බස් ඔස්සේ එම ඒක කේන්ද්‍රීය සමාජ සංස්කෘතියට තිතක් තබමින් සියළු සමාජ ස්තරයන් එකම පංතියකට එකම ස්තරයට කැන්දමින් තිබේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිගනක වේදීන්, බැංකු ලිපිකරුවන් හා විධායක ෙශ්‍රණි වල පමනක් නොව පාසල් යන සිසුන්, රැකියාවක් නොකර ගෙදරට වෙලා සිටින්නන්, ගෘහනියන් ආදී එකී මෙකී නොකී සියළු ස්තරයන් එකම බස් එකේ කදේ දාගෙන දවස පුරා දැනුම, විනෝදය, හාස්යය, පාළුව, කාන්සිය බෙදාහදා ගනිමින් සිටී. සමාන්‍ය සාමාජයේ දී සර්, මහත්තයා, නෝනා ලෙසින් අමතන්න වූවන් අපි අද මචං, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ලෙසින් ආමන්ත්‍රනය කරගමු.

ඉදින් මෙම ලෙංගතු කම් හරහා අපට ඒ ඒ සමාජ ස්තරයන් ගැන පැවතියාවූ දුර් අවබෝධනයන් ලිහා ගත හැකිවනු ඇත. අප නොදන්නා දේවල් අසා දැන ගත හැකිය. කිසියම් වැඩකට අත ගැසීමට ප්‍රථම ඒ ගැන පළපුරුද්දක් ඇත්තෙකුගෙන් අසා දැන ගත හැකිය. නොමිලේම සාරවත් උපදේශනයන් ලබා ගත හැකිය. මෙහිදී ඉරිසියාකම්, කුහකකම් හා මාන්නයන්ට පැවැත්මක් නැති හෙයින් අපට අපගේ ගැටළු වලට නිවැරදිම විනිශ්චයන් ලබාගත හැකි වනු ඇතිය.

ඉතින් මෙම සයිබර් සංගමය බ්ලොග් අවකාශය ගූගල් බස් රථය මෙන් ස්ථානයන් වලින් දැන හැදින ගත් අප ඔබ මෙම සමාජ ක්‍රමය නවමු මාවතකට ගෙන යමින් සිටිනෙමු. මිත්‍රත්වකම්, හිතහොදකම්, අසමානාත්මකම්, සමානාත්මතාවයෙන් බෙදාහදාගත් ඔබ අප දැන් එකම පවුලකි. ඉතින් අප පවුලේ කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්, දුකක් සිදුවී උදවුවක් උපකාරයක් අවැසි මොහොතක් උදා වුවොත් අපි කුමක් කරමුද? අපි ඔහුව ඇයව අමතක කරමුද? ඒ අවංක කම ලැබැදි මිතු දම සයිබර් අවකාශයේ අදුරු මුල්ලකට තල්ලු කර සගවා තබමුද?

මා ප්‍රිය සහෘදය, ඔබ මා සමග ලෙංගතුකම බෙදා හදාගත් එවැනි සහෘදයකුට අපගේ උදවු අවැසි මොහොතක් උදා වී තිබේ. සයිබර් යායෙන් ගොඩනගාගත් ඒ මිතු දම අවංක කම මනුෂ්‍යයත්වය වෙනුවෙන් ඔබේ උපකාරයේ හස්තය අපි අපේ ලබැදි සහෘදයා වෙනුවෙන් දික් කරමු.

බ්ලොග් ගොඩැල්ලේ ඉලංදාරියා හා ඒකාත්මික වූ ඔබ ඔබේ මිහිරි වදන් ඔහුගේ සවන් මත්තේ තබන්න, ඔබත් ඔබේ හැකි උපරිමය ඉටුකරන්නට පෙළ ගැසෙන්න.



සෝදුපත් කියැවීම
ගයාත්‍රී චතුරාණී


වැඩි විස්තර
ඉලංදාරියා
දුකා


ඔබ දෝහා කටාර් හී බ්ලොග් ලියන කියවන අයෙක් නම් ද ඉලංදාරියාගේ නිහඩ ලොව බිදින්න ව්‍යාපෘතියට සම්බන්ධ වන්න කැමතිනම්ද කථා කරන්න. අපි එකතුව දෝහා කටාර්වලින් ඉලංදාරියා වෙනුවෙන් කරන්න හැකි යමක් ගැන සාකච්චා කරමු.

2011/01/25

මා පැතූ මෘදු ආදරේ

මලක සුවද හදට කොදුරලා
කියන්න හදන රහස නොම දැනා
නොයිදුල් හද සුවද ඉල්ලලා
දුක් විදිනවා ඒ මල පතලා


මා පැතූ ............
මෘදු ආදරේ...........
නුඹ කෙරෙන් .........
විතරයි ලදේ........
මා පැතූ .............
මෘදු ආදරේ


නිල් විලේ .........
පිපි කුසුමියේ..........
හැඩ කරන් ........
හදසුන මගේ..........
නිල් විලේ ............
පිපි කුසුමියේ

2010/12/26

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්ය ය හා අපි (3 කොටස)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලීය කටාර් රාජ්ය යට ලැබීමත් සමග කටාර් රාජ්යෙය් විශාල සිදුවීම් ගනනාවක් සිදුවනු ඇත. එමෙන්ම ඔවුනට සියළු දෑ සකසුරුවම් කිරීමට ඇත්තේ වසර 10යකි. එය කාලය පැත්තෙන් බැලුවහොත් දීර්ඝ කාළයක් වුවත් සංවර්ධන හා ඉදිකිරීම් පැත්තේන් ගත්විට කෙටි කාලයකි. කටාර් රාජ්යයට සීග්‍ර හා කෙටිකාලීන සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සිදුවනු ඇත. විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවනු ඇත. මෙය ක්‍රීඩා කටයුත්තක් උවත් ක්‍රීඩා අංශයේ පමණක් නොව සියළු අංශයන්ගේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන් සංචාරක හා ගුවන් සේවා කටයුතු සනීපාරක්ෂක හා යටිතල පහසුකම් කටයුතු හා විනෝදාස්වාද හා සමාජීය සුබසාධන කටයුතු කෙරෙහි වැඩි අවදානය යොමු කරමින් ව්‍යාපෘති සැකසෙනු ඇතිය.

2022 අරඹයා රජය දැනටම සංවර්ධන කටයුතු අරබා හමාරය. දැනට පවතින ගොඩනැගිලි කඩා බිද නව ගොඩනැගි ඉදිකරණු අපට දැක ගත හැකිය. මංමාවත් පුළුල්කිරීමේ වැඩ කටයුතු අරඹා ඇත. එමෙන්ම හරිත උයන් ඉදිකිරීමේ ව්‍යාපෘතිද ආරම්භ කර ඇත. නව ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ වැඩකටයුතුද ආරම්භ කර ඇත. වර්ථමානයේ භාවිතා වන ගුවන්තොටුපලට යාබදව වැඩ නිම වෙමින් පවතින දෙවන ගුවන් තොටුපලෙන් පසුව මුහුද ගොඩ කර අතිනවීන තාක්ෂණයන්ගෙන් හා ඉතාම ඉහල ජාත්‍යයන්තර ගුණාත්මක තත්වයේ තුන්වන ගුවන්තොටුපලක් ද ඉදිකිරීමට දැනට සැළසුම් කර ඇත‍.

මෙම සියළු කරුණු කාරනා හා සංවර්ධන කටයුතු වලින් අපට ලබා ගත හැකි වාසි අවස්ථා ඉතාමත් ඉහලය. විශේෂයෙන්ම විශාල රැකියා අවස්ථාවන් උදා වනු ඇතිය. ඉන්දියාවට විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ගලායනු ඇතිය. එයට හේතුව අඩු වියදමකින් ශ්‍රමිකයින් ලබා ගත හැති වීමත් මෙරටේ හිංදි භාෂාවට ප්‍රමුඛතාවක් ඇති නිසාත් හා කාර්යාල හා ව්‍යාපෘති කළමණාකාර තනුතුර වලද වැඩි ප්‍රමාණයක් ව්‍යාපාර මෙහෙයවන ඉන්දීය ජාතිකයින් මෙහි ක්‍රීයාකාරී වීමත් ය. එමෙන්ම පිලිපීනයටද ප්‍රමාණයක් ගලා යනු ඇතිය. එයට හේතුව ඔවුන් වැඩි දෙනෙක් ඉංග්‍රීසි භාශාව කථාකීරීම හා කටාර් පිලිපීන සහයෝගිතා ගිවිසුම් ය. ඉන්පසු බංග්ලාදේශ්, ෙන්පාල්, සිරියා, ඊජිප්තු හා උතුරු අප්‍රිකානු රටවලට සුළු ප්‍රමාණයක්ද රැකියා ගලා යනු ඇතිය. ඉංදියාව පිලිපීනයට පසු මෙහි වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලැබෙනු ඇතිය. ඉංදියාවට හෝ පිලිපීනයට වඩා ලාංකිකයන්ගේ කාර්යක්ෂම තාවය, නම්‍යශීලීතාව හා මිත්‍රශීලී බාවයන්ට මෙහි හොද පිළිගැනීමක් ලැබී තිබෙන අතර ශ්‍රී ලංකා රජය මීට වඩා කාර්යක්ෂම තාවයකින් මේ රට හා කටයුතු කර සුහදතාවයන් වර්ධනය කරගන්නේ නම් ඉංදියාවට ගලා යන රැකියා ප්‍රමාණයන් අප රටට ලබා ගැනීමට පහසු වනු ඇතිවාක් මෙන්ම වැඩි මුදල් ප්‍රමාණයක්ද උපයා ගැනීමට හැකි වනු ඇතිය. එයට හේතුව දැනටද මෙහි වැඩකරන පිටරට ශ්‍රමිකයන්ගෙන් එකම රැකියාවේ වැඩි වැටුපකට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකිකයන් වීමය. එහෙයින් මෙම වැටුප් ප්‍රමාණයන් තව දුරටත් වැඩිකර ගැනීමට අපහසු නැතිය. ඒ සදහා ශ්‍රී ලංකා රජය මිත්‍රත්වයේ නාමයෙන් සෘජුව මැදිහත් වී කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකා රජය ඉතාම ගුණාත්මක බවකින් යුතු ශ්‍රම බලකායක් මේ සදහා සූදානම් කොට තැබීය යුතුය. යම් ප්‍රමාණයකට හෝ ඉංග්‍රීසි භාෂාව හා හිංදි භාෂාවන් කථා කිරීමේ දැණුම ඔවුන්ට ලබා දීය යුතුය. එමෙන්ම රැකියා තැරැවුකාර ආයතන හොරුන්ගෙන් අසරණ ශ්‍රමිකයින් ගලවා ගැනීමටද රජය මීට වඩා විදිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතු යැයි මට සිතේ.

2010/12/25

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්යය හා අපි (2 කොටස)

2010. දෙසැම්බර් 2 වන දින ජාත්‍යයන්තර පාපන්දු සංගමය මගින් 2018 සහ 2022 යන වසරවල් සදහා සුදුස්සන් ප්‍රකාශ කරන ලදි. 2018 තරගාවලීය තම රටට ලබා ගැනීමට බෙල්ජියම සහ නෙදර්ලන්තයද පෘතුගාලය සහ ස්පාඥයද ඒකා බද්ධව ද එංගලන්තය සහ රුසියාව තනි තනිවද තරග කල අතර එම අවස්ථාව හිමි වූයේ රුසියාවටය. 2022 තරගාවලීය සදහා ඕස්ට්ලියාව, ජපානය, කටාර් රාජ්ය ය, දකුණු කොරියාව සහ ඇමරිකාව තරග කල අතර ඉතිහාසයේ ප්‍රථම වරට අරාබි රටකට එම අවස්ථාව හිමි වූයේ කටාර් රාජ්ය්‍යට එම තරගාවලීය සංවිධානය කිරීමේ අයිතිය ලබාදෙමිණි.
එම අවස්ථාවට කටාර් රාජ්යයේ රජතුමා හමාද් බින් කහලීෆා අල්තානී උතුමානන්ද එම රජපවුලේ සමාජිකයන්ද සහභාගි සිටින ලදි. එම ප්‍රකාශන අවස්ථාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ජාත්‍යයන්තරයේ මෙම සිදුවීම කථාබස් වනුයේ මෙය සිදුනොවීය යුත්තක් ලෙසය. එමෙන්ම මෙය වැරදි තීරණයක් ලෙසත් කථාබස් වෙයි. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාද කියා සිටියේ මෙය වැරදි තීරණයක් බවය. මාගේ පුද්ගලික මතයද මෙය එතරම්ම සුදුසු තීරණයක් නොවන බවයි. එයට හේතුව මෙහි වසරේ වැඩි කාලයක් උෂ්ණ සෘතුව පවතින හෙයින් ද එය සෙල්සියස් අංශක 41 දක්වාවූ උපරිම තත්වයන් වාර්ථා කරන හෙයින්ද එය මෙවන් ක්‍රීඩා කටයුත්තක් සදහා සුදුසු තත්වයක් නොවනු ඇත. තවද මෙම උත්සව අවස්ථාවට ලෝකයේ සතර දෙසින් විශාල ජන ගංගාවක් කටාර් රාජ්ය්‍යට පැමිණෙනු ඇතිය. ඔවුන්ගේ විනෝදාස්වයන් සදහා අරාබි රාජ්යයන්හී පවතින රැඩිකල් නීති රීතිද බලපානු ඇතිය. එමෙන්ම කොන්ක්‍රීට් වලින් ගොඩනැගුණු කෘතීම තත්වයන්ට පරිභාහිර ස්වභාසෞන්දර්යය සංචාරකයන් බලාපොරොත්තු වනු ඇතිය. මෙම තීරණයට පක්ෂවද විපක්ෂවද ජාත්‍යයන්තරයේ කරුණු කාරනා කථාබස් වන අතර දැන් තීරණය ප්‍රකාශ වී හමාර හෙයින් අප කවුරුත් එම තීරණය නිවැරදිම තීරණය බවට සපත කිරීමට උදවු කළ යුතුය. රජයේ ප්‍රකාශකයන්ද කියා සිටිනුයේ මෙම අවස්ථාව පාපන්දු කුසලාන ඉතිහාසයේ නොමැකෙනම මං සටහනක් තබන අවස්ථාවක් කිරීමට කටාර් රාජ්යය සැදී පැහැදී සිටින බවයි.

2010/12/23

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්ය ය හා අපි (1 කොටස)

දෙසැම්බර් මස දෙවන දින සවස 5ට පමන අපේ ආයතන ප්‍රධානියාගේ කාමරයෙන් පෙරදිනක නොවී විරූ ලෙස මහා හඩකින් අප ප්‍රධානියා කෑමොර දෙන හඩ ඇසීමත් සමග මාද බංග්ලාදේශ ජාතිකයකුද දුවගෙන ගියේ ඔහුට පපුවේ කැක්කුමක් හෝ අසනීප තත්වයක් ඇති වී ඇතැයි සැක සිතීමෙනි. නමුත් එහි සිදු වූ දෙයින් අප නෙත් අදහා ගත නොහැකි විය. හංකිති කැවුවත් සිනා ගැස්සවිය නොහැකි මට්ටමේ පෞර්ෂයකින් හෙබි ඔහු කුඩා ළදරුවකු මෙන් දරා ගත නොහැකි සන්තෝසයකින් සිහි විකලව පරළ වූ වකු මෙන් නට නටා සිටිනු දැකීමෙන් මට නෙත් අදහා ගත නොහැකි විය. "සර් ඔබ හොද සනීපෙන්ද?" මා විමසා සිටියේ මෙය බලාගෙන සිටිනු නොහැකි තැනය. "ගිහී අපි දින්නා ගිහී අපි දින්නා..." ගිහී යනු ඔහු මා අමතන ආකාරයයි.

"මොකක්ද සර් මැච් එක" මා ඇසුවෙමි. "මැච් එකක් නෙවෙයි ගිහී 2022 ලෝක පාපන්දු කුසලානය අපේ රටට හම්බ වුනා". මම තවත් අවුලෙන් අවුලට පත් වුෙණමි. 2022 කේ ලෝක පාපන්දු කුසලානය 2012 දී ගන්නේ කොහොමද? "සර් මට තේරුනේ නැහැ". ඉන්පසු පියවි සිහියට එළබි ඔහු අග සිට මුලට තේරුම් බේරුම් කර දුන්නේ 2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලීය සංවිධානය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට අරාබි රටකට ලැබීමත් ඒ දුර්ලබ අවස්ථාව කාටාර් රාජ්‍යය සතු වීමත් යන කාරනාය. මට ඒක ඒ හැටි වැදගත් කාරනයක් නොවුනත් ලොක්කාගේ සතුටේ බරපතලකම හේතුවෙන් ඔහුට සුබ පතා අවුල් වූ හිසින් යුතුව මගේ අසුනට වීමි.

ඉන්පසු ඔහු හතර අතට කෝල් කර කර සුබපතා ගන්නා අාකාරය ඔහුගේ කාමරයෙන් ඇසෙන අතර අගනගර මධ්‍යෙය් ගොඩනැගිල්ලක පිහිටියත් නිස්කලංක අප කාර්යාලයේ නිහඩ බව බිදිමින් පරිසර වටපිටාවද වෙනස් වෙන බවක් තේරුනෙන් අප ජනෙල තිර එහෙ මෙහෙ කරමින් නගරය දෙස බැලීමු. නගරය කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් පෙනුණි. ඉතා විශාල මාර්ග තදබදයකි. වාහන හෙල්ලෙන බවක් නොපෙනෙයි. සැම අතම වාහන නලා හඩින් ගිගුරුම් දෙයි. ජන ගංගාවෝ ප්‍රීති ගෝෂා නගති. ධජපතාක ළෙලවති. මහත් වූ විපරියාසයකි.

2010/12/22

මත් බබරෙක් කාහටවත් වගක් නැති විය



මල් මල් මල් සල් මල් වැල් මල් වියන් විය
රුං රුං කියා මලින් මලට ගී කියා ගිය
තටු සිදිලා හති වැටිලා වැහැරිලා ගිය
මත් බබරෙක් කාහටවත් වගක් නැති විය

ගහක් වසා පිපීලා සුදුපාට අරලියා
සුවද ඇවිත් වද දෙනවා එන්නම කියා
සිතට මගේ බයයි වගේ බලමි දුරතියා
දෑසින් මිස දෑතින් නොල්ලමී සොබා

නෙක නෙක මල් හැඩට පිපී යාය පුරාම
සුන්දර මල් නෙතට ගැටෙයි ඈත තියාම
ලස්සන බබරැන් ලං වෙයි විහිළු කරාන
මොන විහිළුද මම යන්නෙමි අහක බලාන

2010/11/22

සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව

සබද පසිදු පෙරබර දිග වඩින කල
පංචම තඹර පිපුණා සොද හැඩ රුවට
නිල්දියවර සිප එන බොද මීදුමට
නෙලුම් නෙලන්නට බහිමුද නිල් දියට


සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව
දුක සිතුනා සිපගන්නට නිමල් මුව
දියබට කිදුරියේ නොකරන් ලමුව කෙලැ
සැඩෝල් ලියව සගවා ගයි නෙලුම් විල


විදිවිහිගුම් බිගු කැල අර ගයන කව
සියපතක ලියමි දනිත් නම් ඒ බඹර කුර
පංචම තඹර එක් කෙමියක් මතට ගෙන
මනරම් මල් දමක් කරමි නුඹේ ගෙලට


2010/11/08

Technical Drawings ෙප්‍රහෙලිකාවක්


මේ තියෙන්නේ විදේශිය මිතුරෙක් මට දුන්න ගැටළුවක්. ඔන්න පැහැදිලි වෙන්න මම රෑප සටහනකුත් දැම්මා. Front view එක සහ Side View දීලා තියෙනවා. Front view එකේ කෙටි කුහරයකුත් පේන්න තියෙනවා. එයා කියන විදිහට මේකේ Top view එක අදින්න ඕන. Technical Drawings ගැන දන්න අය දන්නවා මෙතන ප්‍රශ්ණයක් තියෙනවා කියලා. ඒ තමයි Front view එකයි side view එකයි පරස්පරයි කියන එක. නමුත් එයා කියන ආකාරයට කිසිම ප්‍රශ්ණයකින් තොරව Top view එක අදින්න පුළුවන්ලු. බලන්න පුළුවන්ද කියලා.

 Top View රෑපසටහන

මෙන්න නිවැරදි පිළිතුරු දුන් comments



Anonymous said...


Two possibilities;
1. Square hole in to a circular dish, having depth about 4/5th of its dia.
2. Similar hole into a half dish joined to a cuboid of sizes dia x radius x dish height.


කාංචන දිනූක said...


බලන්න මේක හරිද කියලා.. paint වලින් ඇන්දේ.... :( http://img23.imageshack.us/img23/9995/35402795.jpg මේව ඇන්දෙ O/L වලදි. අවුරුදු 10කටත් වැඩියි. දැන් නම් මෙලෝ දෙයක් මතක නෑ....

2010/11/01

නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ

නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ
ඒකයි මගේ ඇත්ත
දුරක් ආව නුඹ වෙනතක ගිය බව
පිළිගන්නේ කෝම
කොපමන හිතුවත් නොහිතෙන එක දෙය
අමතක කරවීම
නුඹ ගැන මතකය දින දින දළු ලයි
වැටහෙන් නෑ කරුන

හීන ගොඩක් ලග මම අද තනියම
කවුරුත් නැහැ තාම
වසරින් වසරට වයසට ගියමුත්
හිත තාමත් එතන

කදුළුත් වියැළුනු දෙනෙතේ සරනා
ඔය රුවමයි තාම
හීනෙන් හීනෙට ලගටම ආ මුත්
කිසිවක් නෑ ඇත්ත