2010/07/27

පින්නේ පිපුණු මලක් වගෙයි



ආසයි හරි පරිස්සමට
ඔය දෙකොපුල් පිරිමදින්න
සියුමැලි කම වැඩිම හන්දා
ලෝබයි මම අත තියන්න


වල ගැහෙන්න සිනා සුනත්
සමනළ තටුවක් වාගෙයි
කදුළු බිංදු ගලා ගියත්
පින්නේ පිපුණු මලක් වගෙයි


‍සිහින් සුළං හමා ගියත්
කෙස්රොද මුහුනටම එබෙයි
මුව සිබ එක් ඇසිල්ලකින්
ආයෙම පවනට මුසුවෙයි






2010/07/12

මල් සරාට විවෘත ලියුමක්

මල්සරා මතං වෙත ලියමී.

බඩුම වේවා

සරා මතං උබේ සැප දුක් කෙසේද? සුපුරුද්දට ඇහුවට උඹෙන් නම් ඒක අහන්න දෙයක් නෙවී. මොකද උබනම් පැණි උගුඩුවා වගේ මල් වටකරගෙන පැණි හල හල ඉන්න බව අපි දන්නවා. ඒකට අපි දුක තමයි. අපිත් බලාගෙන ඉන්නවා උබ අද ලයින් එක දායි හෙට ලයින් එක දායි කියලා. තව කොච්චර කාලයක් බලාගෙන ඉන්නද මල් මතං. ඉදලා ඉදලා (ම්හ්...මුහ්...ඇඩෙනවා අයියෝ) බැරිම තැන තමයි උබට ලියුමක් වත් දාන්න ඕන කියලා හිතුනේ. එක තත්පරයක් අපි දිහා බලන්න බැරි තරං අපි කලුද මතං. අම්මපා දුක හිතෙනවා (ම්හ්...මුහ්...) මල් මතං. ඔය තරං කෘර වෙන්න එපා රත්තරං. මතං සොරි වෙන්න. අකුරු බොදවෙලා වගේ තියෙන්නේ පොල් කොල අස්සෙන් පිණි බිංදු වැටිලා එහෙම නෙවෙයි. කදුළු බිංදු වැටිලා. (ම්හ්...මුහ්...). ඉතිං රත්තරං.

කියන්න ගොඩක් දේවල් තිබුණත් කියා ගන්න බෑ දුකට. ඒක නෙවෙයි මතං උබ දැන් කොරන තරමක් කරන්නේ කැත වැඩ. ඇයි ඒ. උබ සෙට් කරන කපල්ස් මාසෙන් දෙකෙන් අප්සෙට් වෙනවා. එක්කෝ කොල්ලෙක් කොල්ලෙකුටම සෙට් කරනවා. නැතිනම් කෙල්ලෙක් කෙල්ලෙක්ටම සෙට් කරනවා. ඇයි මල් මතං කල කිරිලා වගේ වැඩ කරන්නේ? ඇයි හරියට කිරලා මැනලා වැඩේ කරන්නේ නැත්තේ? උබ ඕනවට එපාවටද දැන් වැඩ කරන්නේ? වෙලාවට පඩි ගෙවන්නේ නැද්ද? ඕටයිම් කප්පාදු කරනවද? කෝස්ට් කටිං කියලා කිරි තේ දෙන්නේ කිරි නැතිවද? ඒ උනාට රත්තරං මතං උඹ ඒවට සැලෙන්න එපා. උඹ සැලුනොත් කෙලවෙන්නේ අපිටනේ මල් වස්තුවේ . උඹ උඹේ ලොක්කත් එක්ක මලපැන්නට මල් වගේ අහිංසක අපේ හදවත් වලින් පලිගන්න එපා රත්තරං. අපි අහිංසකයි, අකලංකයි, පිවිතුරුයි, නිර්මලයි, නිර්ව්‍යාජයි, නිසංසලයි, නිස්සා......රනයි.

මල් මතං උඹ තාමත් ලැගගෙන ඉන්නේ සුජාතා අත්තනායක ආන්ටි සාදා දුන්න මාළිගාවෙමද? උඹ එයාටනම් මල් නෙලන්න අවස්ථාවක් අරන් දුන්නා. අපිට තමයි හුළං. ඒක නෙවෙයි මල් වස්තුවේ මල් සරාට ප්‍රේම ලෝකේ මාළිගා තනා ගන්න මමත් මල් 7තේ ප්ලෑන් එකක් ඇදලා දෙන්නම් මල් නෙලන්න අවස්ථාවක් මදට අත්කරලා දීපන් සුදා. ගයා ගී....ටිං ටිං ගයා ගී....

ගෙදරටම තිවුනේ එක ගිනිකූරයි එකෙන් පහන පත්තු කරගෙන තමයි මේක ලියුවේ දුක වාව ගන්නම බැරි තැන. එහෙනම් අදට නවතිමි. මල් මතංට සුබ රාත්‍රියක් වේවා. මතංට අපිව හීනෙන්වත් පෙනියන්.

උම්මා.....උම්මා.....(තැපැල් තොත්තුව)

2010/07/05

මල් සරාගේ ඒකාධිකාරි ආදර කඩ‍පොළ


මල් සරා දැන් තම රාජකාරි කටයුතුවලින් බැහැරවී පිස්සු කෙලින්න පටන්ගෙන තියෙන සෙයකි. අපිට ඕනා තැන්වලට ඔහු දැන් නොවිදී. ඔහු විදින්නේ ඔහුට ඕනා ඕනා තැන්වලටය. අපිට ඕනා තැනකට විදගන්න නැතිව සරාට ඕනෑ තැන්වලට විදපු ඒවා අපිට අහවල් එකකටදැයි මට අහන්න හිතෙයි. ඔහුගේ හිතු මානාපෙට විදපුවා ගේ රග කප්පරක් වු විරහ දුක් විදින්නන්ගෙන් අහන්න දකින්න ලැබේ. අපිට ඕනා තැනකට විදගන්න අවස්ථාවක් දුන්න නම් ආදරය මේතරම් කරුමයක් කර නොගෙන ෆන් එකේ ඉන්න තිබුණී.

මල් සරා පිස්සු කෙලින්නේ මල් සරාගේ පෝස්ට් එකට තරග කරන්න වෙන බුවෙක් නැති නිසා යැයි මට දහස් වාරයක් සිතෙයි. සරාගේ පෝස්ට් එකට තරගයක් දෙන්න තව බුවෙක් හිටියනම් අපිට මේ තරම් මල් සරාගේ රෙස්පට් බලන්න සිදු නොවේ. අඩුම ගානේ තව එකෙක් වත් සිටියනම් දෙමස්සිනාලා කොටවා අපිට ඕනා ඕනා තැන් වලට විදගන්න තිබුණි.

මල්සරාට ඇත්තේ ආදර ලොව ඒකාධිකාරයකි. ඒ ඒකාධිකාරය බිද ආදරය විවෘත කඩපොලක් සේ කල යුතු බවයි මට නම් දහස් වාරයක් සිතෙන්නේ. එවිට අපිට අවශ්‍ය කරන ආකාරයේ මල් සරෙක් අපේ වැඩේට චැනල් කරගත හැකිය. එවිට නානාවිද හැඩයන්ගෙන් යුත් මල් හී අපට අත්හදා බැලීය හැකිය. එක සරෙක්ගෙන් වැඩේ කර ගන්න බැරි වුනොත් තව මල් සරෙක් අත්හදා බැලීය හැකිය. තරගකාරී මල් සරුන්ගේ කඩපොළට විදේශ සුරභවනන්ගෙන් ආදර අධ්‍යාපනය ලද විශේෂඥ මල් සරුන්ද පැමිණෙනු ඇත. එවිට ඔවුන් නිකම්ම මූන බලා හී විදිනවා වෙනුවට ස්කෑන් එක්ස්රේ යූරින් අර ටෙස්ට් මේ ටෙස්ට් අරවා මේවා හැම ජල්බරයක්ම කර ඉතාම ආසන්නයටම තකට තක හරියන හීයකින් අපිට විදිනු ඇත.

මල් සරා ඒ ලෝකේ නොසිට මේ ලෝකේ සිටියනම් ජරාවක් හරි දීලා ඊතලයක් දෙකක් ඉල්ලා ගන්න තිබුණි. එවිට අපිට ඕනා කෙනෙකුට අපිටම දමලා අනින්න තිබුණි. ඒ අතින් මස් කඩ කාරයන් වාසනාවන්තය. PHI මහත්තයා ඒ ලෝකේ නොසිට මේ ලෝකේ සිටීම මස් කඩකාරයන්ට ඉතා අස්වැසිල්ලකි. මොකද බොහෝ PHI මහත්තුරු මස් කඩ කාරයන්ට තම සීල් එක බැගින් දෙනු ලබයි. ඒනිසා මස් කඩහිමියන්ට තම හිතගත් ඕනෑම උරෙක්ට තම හිතුමතේට PHI සීල් එක ගසා ගත හැකිය. ඒ වගේ මල්සරා PHI මහත්තයව ආදර්ශයට අරගෙන අපිටත් මල් හීය ගානෙවත් දෙනවනම් කොච්චර එකක්ද දෙයියනේ. බලාගෙන ගියහම ආදරයෙන් පැරදී දුක් විදින්නේ මස් කඩකාරයන් තරම් අපි පිං කර නැති නිසා විය හැකිය.