2009/11/30

Angles of 3D Building




සැලකිය යුතුය. ප්‍රායෝගික හේතුන් මත ඡායා රූපවල ගුණාත්මක බව පහල දමා තිබේ.

2009/11/25

ඔබ විවාහ වන ව‍යසේද? එහෙනම් මේකත් කියවන්න.

ඔබ විවාහකයෙක්ද? ඔබ විවාහ මංගල්‍යය ජයටම ගත්තද? ඔබ කුකලන් කී දෙනෙක් බිලි දුන්නාද? ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද? ඔබ කුකුලන් කී දෙනෙක් බිලි දීමට බලාපොරොත්තු වන්නේද? ඔබේ ෆන් එකට අහිංසක කුකුල්ලු බයිට් ද?

කුකුලා අහිංසක සතෙකි. කුකුලන්ගේ ප්‍රධාන සතුරා කලවැද්දාය. නරියද ඉදහිට සතුරුකම් කරන්නේය. ඒ වුනාට මිනිසා තරම් කුකුලට සතුරු කම් කරන එකදු සතෙක් වත් නැත. මිනිසාගේ ප්‍රධාන මාංශ ආහාරය කුකුලන්ය. කුකුලකු හීනෙන් දැක්කත් කොට්ටය තෙමෙන්නම කෙල හලන්නේය. ඒ තරමටම අපේ ඇත්තන් කුකුලන්ට පෙරේතය. මේ තරම්ම මිනිසුන් කුකුල් මසට ලොබ ඇයි දැයි සහෘදයට තේරුම් නැත.

විවාහ මංගල්‍යයක් කීවොත් ඉතින් හදන බඩු ලිස්ට් එකේ උඩින්ම ලියවෙන්නේ කුකුලන්ගේ කිලෝ බරය. ඔබ ලොකුවට ගන්න යන්නේ ඇත්තටම විවාහ මංගල්යලයක්ද බිලි පූජා දෙන තොවිලයක් ද? තොවිලයක් කීවොත් ඉතින් එන පෙරේත කුම්භාන්ඩයන්ට බිල්ලක් නොදී දෙන ලෙඩ දුක් අන වින නැති කරගන්න බැහැය කියන වනේ. ඉතින් කෝකටත් හෙනරාජ තෛලේ වගේ කුකුලගේ කරුමේ. ඔබේ විවාහ උත්සවයට ඔබ ආරාධනා කරන්නේ කුම්භාන්ඩයන්ටද? නැතිනම් කුකුල් පෙරේතයන්ටද?

ස්වභාව ධර්මයට අනුවද ජෛව විද්‍යාවට අනූවද තව සතෙක් තව සතෙකුගේ ආහාරයෙකි. සැබෑය මිනිසාද සතෙකි. හැබැයි ආධ්‍යාත්මක ධර්මයන්ට අනුව නම් සත්ව ඝාතනයන්ට විරුද්ධය. "ආධ්‍යාතත්මක ධර්මයන්ට අනුව ඉතින් සියළු දේ සිතුවහොත් කන්න වෙන්නේ පස් තමයි". ඒ තමයි කුකුල් පෙරේතයන්ගේ ප්‍රධාන සටන් පාඨය. ගෞතමයන් වහන්සේද ආහාරය පිණිස මාංශ අනුබවය අකැපයි කියා නැත. නමුත් ප්‍රාන ඝාතනය අකුසලයක් ‍ලෙසත් ඒ පවු ගොනු බැදි රියසක මෙන් පසු පස එන බවත් පෙන්වා දුණි. උන්වහන්සේද සූකර මාංශ වැලදුවේය. ඒ මාංශ පෙරේතකමකට නම් නො‍වේය. ඒ දන් පිනිස පිලිගැන් වූ යමක් ප්‍රතික්ෂේප කිරීම නොමනා නිසාය. ඒ වගේම ඒ පවු එදිනම පල දී දරුණූ උදර රෝගයකට උන්වහන්සේ මුහුණ පෑවේය. (එම දහම් කථාව නොදත් අන්‍ය ආගමිකයෙක් වෙතොත් ඒ පිළිදව දන්නා අයෙක්ගෙන් අසා දැනගත්වා)

පවු පින් කෙසේ වෙතත් මෙලොව ජීවත්වන හැම ජීවියෙකුටම ස්වාධීනව ජීවත් වීමට අයිතියක් ඇති බව උසස් චින්තනයක් ඇති මනුස්සයා නම් සතා දනී. අන් සතුන්ට වඩා ද අවුරුදු දහස් ගනනකට පෙර සිටි මිනිසුන්ට වඩා ද වර්තමාන මිනිසා බුද්ධිමත්ය. ඉතින් මිනිසාගේ ආහාරය පිනිස ඕනෑ තරම් ගස්ගෙඩි ද ඵල වැල ඇත්නම් තවත් කුමට අහිංසක සතුන් මරන්නේද? ආහාර අහේනියක් හෝ ආහාරය පිනිස වෙන විකල්පයක් ඇත්තෙම නැතිනම් මෙවැනි මාංශ විකල්පයකට යා යුතුවෙයි. එවිට ආධ්‍යායත්මක ධර්මය දෙවැනි වී ස්වභාව ධර්මය පෙරට ඒය.

නමුත් ඔබට ආහාර අහේනියක් නැත. කුකුලන් ද අනෙකුත් මාංශයන්ගෙන්ද ‍තොර ඉතාම උසස් විවාහ මංගල්‍යයක් ඔබට ගනු හැකිය. ඒ සදහා ඕනෑ තරම් ප්‍රණිත ආහාර ඇත. එසේ ඕනෑතරම් ආහාර තිබියදීත් ඔබ ඔබගේ ප්‍රීතිය තකා අහිංසක කුකුලන්ගේ පිළිගද මස් ගොබ ඔබගේහිතවතුන්ගේ කුසට ඔබන්නේද? ඔබගේ විවාහය ට කුකුලන් බිලිදිය යුතුමද? ඔබගේ බෝතලේට කුකුලා බයිට් විය යුතුමද? පවු පින් ලෙසත් නොව විද්‍යාත්මකවත් නොව මනුෂයකු ලෙසින් මනසින් සිතන්න. සහෘදයාගේ පැතුම, ඔබගේ විවාහ උත්සවය කුකුල් රුධිරයෙන් තොර විවාහ මංගල්‍යයක් වේවා.




2009/11/20

BAR TABLE

සහෘදයාට හිතුනා සහෘදයා හදපු ත්‍රිමාණ ආකෘති කිහිපයක් සහෘදයන් එක්ක බෙදාහදා ගන්න. ඔන්න අද ඉදන් සහෘදයාගේ 3D Models. මේ සහෘදයා නිවසකට හදපු Bar Table එකක ත්‍රිමාණ ආකෘතියක්.


2009/11/19

සිත්තරා මමයි












රූසිරි වර්ණනාව සුරගන පරදන
සප්තස්වරයෙන් ගයමි මෙමා
සිහසුන අතහැර සියොලග පෙම ගෙන
සිහගිරි පවුවෙන් බැස ආදා

නිල් උපුලී නිල් නෙළුම් නෙලා
නිල් දිගැසින් වට හොරෙන් බලා
නිල් දියමත්තේ ලැමත් තෙමා
මා වෙත ආවෙද නැකත් බලා

සදරැස් මෙන් හැඩ ඇති රේඛා
සද එළියෙන් හැඩවුන රේඛා
නුබෙ ගත ඇති කෝමල රේඛා
තව ඇත සිත්තම් කල රේඛා

2009/11/17

මල්වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඉදිරි පරම්පරාවටත් රැකගන්නවාද?


සති දෙකකින් විතර මොකවත් ලියන්න බැරි වුනා. මොකද සහෘදයා රාජකාරි මට්ටමින් කාර්යය බහුලත්වයකට පත් වෙලා හිටිය නිසා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. අද ලියුව එක නම් ටිකක් දෙගෙඩියාවෙන් ලියුවේ. මොකද මේ වගේ මාතෘකාවක් පිලිබදව කථා කරන්න මට තියෙන අයිතිය මොකද්ද තියන එක පිළිබදව කවුරු හරි ප්‍රශ්ණ කරන්න ඉඩ තියෙන නිසා. මම දන්නෙත් නැහැ මට ඇති අයිතිය මොකද්ද කියලා නමුත් හිතන්න තහන්චි නැති මුත් ලියන්න තහන්චි නැති මුත් මාගේ සිතිවිලි කුමක් අරබයා සගවා ගෙන සිටිම් ද?

මට මේ කථාව ලියන්න හිතුනේ ලග දී දැක්ක මල්වර වීමේ උත්සවයක් නිසා. ගැහැණු ළමයෙක් වැඩැවියට පත් වෙලා ලග ගෙදරක. ඉතින් ඒ ගෙදර ලොකු පාටියක්. හරියට 1st class වෙඩින් එකක් වගේ. එදා රෑ අපිට නින්දක් නැහැ. තුන්ලෝකෙටම ඇහෙන්න මෙලෝ රහක් නැති දඩ බඩ DJ එකකට කට්ටියම හොද පදමට දාගෙන හූ කිය කිය ජෝගි නටනවා. මට අනේ අපොයි කියලා හිතුනා. පව් අර අසරණ දැරීවි.

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම යනු එම දැරිවියගේ ශරීර අභ්‍යන්තර මූලික ශරීරයේ වෙනස් කම් කිහිපයක් ඇතිවීමකි. නැතහොත් එම තැනැත්තියගේ ශරීරය ප්‍රජනන ක්‍රියාවලීයට පූර්ව සූදානම් බව ජීව විද්ය්‍යාත්මකව හැගවීමකි. එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය මූලික කරගෙන රෝත්ත බුරුත්ත පිරිවරා සැමරීට තරම් දෙයක් ඇති බවක් නම් මට පෙනෙන්නට නැත.

අඩු වයසින් වැඩිවියට පත් වන අවස්ථා වර්ථමානයේ සුලබ දෙයක් බවට පත්ව තිබේ. එයට හේතු වශයෙන් අධික තෙල් ආහාර හා කෘතීම ආහාර චර්යාවන්ට හුරු වීමත් ලිංගික උත්තේජනයන් ඇති කරන්නා වූ සමාජීය සාධක ත් බලපාන බැවු සමාජ විද්ය්‍යාඥයින්ගේ මතයයි. කෙසේ නමුත් වයසින්ද මනසින්ද ළදරු වයසින් වැඩිවියට පත් වීම යනු එම දරුවාට තේරුමක් ගෙන නොදෙන්නක් විය හැකිය. ඒ වගේම සහෝදරයින් පියා හා පිරිමි ඇසුරින් ඈත් කිරීමෙන් ද දවස් ගනන් කාමරයකට දමා කාමර අඩස්සියේ තැබීමෙන් ද පිලි ආහාර සහිත ආහාර රටාවන් වෙනස් කිරීමෙන්ද තමාව දැඩි පාලනයක ලක් කර ඇති බවද එම සෙල්ලක් කාර වයසට දරා ගැනීමට නොහැකි විය හැකිය. එසේම එය ළමා මනසට දැඩි වෙහෙසකර වූත් මානසික ආතතියක් ඇති කරන්නා වූත් ක්‍රියාවලක් වීමට ද පුළුවන.

අපට චාරිත්‍ර වාරිත්‍ර ගතිගුන හා ගුණාංගයන් ලැබෙන්නේ අපගේ දෙමාපියන් ඇතුළු වැඩැහිටියන්ගෙනි. මෙවැනි මල් වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඒ කාලයට සුදුසු බසුබිමක් තියෙන්න ඇති. එකල සමාජයන් මේ තරම් සංකීර්ණ නැත. ඒ වගේම ඒකල නිසි වයසට අනූව එවැනි මල්වර වීම් සිදුවෙන්නටත් ඇති. එම සිදුවීමට අදාලව භාහිර සමාජයෙන් වෙන් කර තබන්න ඇත්තේ එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය තුල ඉතාමත් කෙටි දින කිහිපයක් ඇතුලත එම තැනැත්තියගේ ශරීරයේ හැඩය වෙනස්වීම (ලැම ඉස්සීම) වැනි ක්‍රියා නිසා සමාජය ඉදිරියේ එම තැනැත්තිය අපහසුතාවයකට පත් වෙතැයි සිතා විය යුතුය. තවද ප්‍රථම වතාවට සිදුවන රුධිර ක්‍රියාවලීය නිසා එයට හැඩගැසීම උදෙසාත් ඇය එම දින කිහිපය නිවාස අඩස්සියේ තබා ගැනීම සාධාරන හේතුවක් විය හැකි නමුත් ඇය ගෙදර තුලත් කාමරයකට කොටු කර තැබීම කෙතරම් සාධාරනදැයි සිතීය යුතුය. තවද පුද්ගලික සනීපාරක්ෂාව ඉතාම ඉහල මට්ටමක තබා ගත යුතු මෙම දින කිහිපය තුල ස්නානයට පවා අවසර නොදී නැකත් දිනයක් උදාවන තුරු සිර මැදිරියක මෙන් රදවා තැබීමද පිළී ආහාර නොදීමද කොතෙක් දුරකට නිෂ්ඵල ක්‍රියාවක් ද හා කොතෙක් දුරකට සාධාරන ක්‍රියාවක් දැයි සිතීය යුතුය.

මෙවැනි තත්වයක් ඇතිවුන විට සිදුවිය යුත්තේ ඇ‍ගේ අම්මා හෝ වැඩිහිටි කාන්තාවක් විසින් එම එම තත්වය පිලිබදවත් එය ඇතිවීමට හේතුත් මින් ඉදිරියට ඈ හැසිරිය යුතු ආකාරයනුත් හා එම තත්වයට අදාල සියළු කරුණු කාරනා තේරුම් බේරුම්කර දී ඇය පිරිසිදු කර සාමාන්‍ය ලෙස හැසීරීමට උපදෙස් දීමය. එසේ නොමැතිව බරපතල අපරාධයක් කල තැනැත්තියක මෙන් සිරගත කිරීම හෝ ඇග බැදී හෝ ජෝගී නැටීමට කාරනයක් කර ගැනීම නොකල යුතුය.

මෙලොව වෙසෙන සෑම ස්ත්‍රියක් පාහේ මුහුණ දෙන මෙම අවස්ථාව විශේෂ කාරනයක් කර ගෙන එය සමරන්න තරම් දෙයක් නැති බව දැන දැනත් තවමත් අප ඒ හා බැදි මෙම නිෂ්ඵල චාරිත්‍ර වාරිත්‍ර සියල්ල සුරකින්නේ ඇයි දැයි මට නම් නොහැගෙයි. අප අපගේ පරම්පරාවන් වලින් ලැබුණු චාරිත්‍ර වාරිත්‍ර රැකගෙන අපගේ ඉදිරි පරම්පරාවන් හටත් ලබා දිය යුතුය. එය අපගේ යුතුකමකි. නමුත් අපට ලැබෙන සියල්ල විමසීමකින් හෝ වග විභාගයකින් තොරවම අප ඉදිරියට ගෙන යා යුතුද? අපගේ දූවරුන් ද මෙලෙස වධ බන්ධනයකට ලක් කල යුතු බව ඔබත් සිතනවාද?

2009/11/05

නොකල වරදකට දඩුවම් දීලා මා හට



මගේ රන් කද කොහේ ගියාද මටවත් නොකියා
මගෙන් දුකක් ඇති උනාද අනේ මන්දා
අනේ ඒම නම් දුප්පත් මා ගැන හිතලා
එකම වරක් ඇවිත් යන්න සමාව දීලා


නොදැක ඉන්න බැරි තරමට පෙමින් ලංවුන
රත්තරං දෑසේ කදුළුැල් බිම වැටුනද
නොදොඩා එකම වදනක් වත් මා හට
ගියේ ඔයා මුසා බසක් අහලද


කදා වළුලු රන් මිණිමුතු අගේ නැති මට
ලය සන්තක වස්තුව වුනේ මගේ රන්කද
නොකල වරදකට දඩුවම් දීලා මා හට
ඔයා රත්තරං එන්නේ නැතිද ආයෙම

2009/10/30

වශී බන්ධන ගුරුකම් හා සංඝරත්නය


පත්තරයක් ගත් විට වාර්ථා හා කාලීන සිදුවීම් වලටත් වඩා දැන් බහුලව දක්නට ඇත්තේ පිටු පුරාවට වශී ගුරුකම් හා ගුප්ත ක්‍රීයාකාර කම් පිලිබදව දැන්වීම්ය. සියළු දේ කෙරෙහි විදය්‍යාත්මකව බලන මේ කල්හී මෙවැනි ගුප්ත කර්ම පිළිබදව විද්‍යාවන් හා ගට්ටනයක් නැතුවාම නොවේ. මෙවැනි ගුප්ත කර්ම වල ඇත්ත නැත්ත සත්‍යය අසත්‍ය තාව පිළිබදව මා දන්නේ නැත. ඒ පිළීබදව මාහට අත්දැකීම් නොමැති නිසාවෙන් ඒ ගැන තර්ක කිරීමෙන් ද ඵලක් නැත. නමුත් පත්තරවල තියෙන ගුප්ත දැන්වීම් පිළිබදව නම් බොහෝ දේ කථා කල හැකිය.

ගුප්ත ක්‍රියාකාරකම් මගින් දුගී දුප්පත් අසරණ දරුවන්ට උදවු උපකාර කරන්න මොවුන් සියළු දෙනාම දේශපාලඥයන් මෙන් ජාතික පත්තර මගින් පොරයකට වැටී තිබේ. මොවුන් සියළු දෙනාගේම දැන්වීම් බහෝදුරට ඒක රූපීය. එකම Template එකය එහි ඇති නම් පමනය වෙසකට ඇත්තේ. බොහෝ දැන්වීම් වල ලිපිනයන්ද එකම ගමක ලිපිනයන් ය. මොවුන් සියළු දෙනා රෝඩී කියයි, හුලවාලී කියයි, නීච කුල කියයි. අතීතයේ පැවති කුල බේදය වර්ථමානයේ සමාජයෙන් මැකී යන කාලයක මෙවන් පුද්ගලයන් එම නීච කුල යන වචනයම ගෞරව නාමයක් මෙන් තම නමට ඈදෑ ගැනීමට පෙළබී ඇති බවක් පෙනෙන්නට තිබේ. තවද මොවුන් සියළුදෙනාම ඕනම කෙනෙකුට ගුප්ත බලය මගින් අභියෝග කර තමාගේ ගුප්ත ශක්තිය ප්‍රදර්ශණය කරන බවද පවසයි. සත් සමුදුරෙන් එහාටද තමාගේ බලපරාක්‍රමය බලපවත්වන බවත් පවසනු ලබයි. ඉතින් මොවුන් කොතෙක් පුරසාරම් බෑවද කවරෙකුවත් අභියෝග බාරගත් බවක් වත් ප්‍රසිද්දියේ තම බල පරාක්‍රමය පෙන්වූ බවක් වත් දක්නට නැත.

නිතරම චන්ද පරදින වැලේ වැල් නැතිව ඉන්න දේශපාලඥයින් ද මොවුන්ගෙන් සේවාවක් ගන්න බවක් පේන්න නැතිය. ඒ වගේම බලයේ සිටින අයට විරුද්ධ පක්ෂයට වඩා මෙම ගුප්ත කරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුවෙයි. මොකද මේ තරම් බල පරාක්‍රමයන් ඇත්තෙක් පාලක පක්ෂයට වශීයක් හෝ ගුරුකමක් මගින් නූල් පන්නා දෙහි කපා සිංහාසනාරූඩ වීමට ද බැරි කමක් නැති නිසාය. තවද මානූෂීය මෙහෙයුම කාලයේ ප්‍රභාකරන් ලොක්කා හොයන්න ජීවිත පරිත්‍යාගයෙන් වලි කෑ වේලේ අදුන බලන පොඩි හාමුදුරුවන් ලව්වා ෙලහෙසියෙන්ම ඒ ගොන් ඩෝලා සිටිය ඉසවුව බලාගන්න තිබුනේය. අවාසනාවකට යුධ හමුදාපති තුමා හෝ ආරක්ෂක ලේකම් තුමා අදුනෙන් බලන තාක්ෂණය ගැන නොදැන සිටින්න ඇති. ඒත් දැන් වුනත් කාලය තියේ. ඔන්න මේ ගුප්ත සාස්තරය ප්‍රගුණ කල ඇදුරුතුමන්ලාගෙන් කවුරු හරි ඉදිරිපත් වෙලා ලංකාවට කුඩුකේට්ටු කම් කරන හිලරි ‍දැරීවිව දැලේ දාගන්න සත් සමුදුරෙන් එහාට බලපවත්වන වශීයක් කලොත් ඔන්න නියම වැඩකාරයෙක් කියන්න පුළුවන්. හිලරි කිකිළීව දපනේ දා ගත්තොත් වැඩේ ගොඩේ ගොඩය. තවද ජිනීවා වැනි ජගත් සංවාද සංවිධාන ආමන්ත්‍රනය සදහා රාජ්‍ය අමාත්‍ය වරුන් යවනවා වෙනුවට වෙමැනි වශී ගුරුකම් ලා කෙල පැමිණිය අයෙක් හෝ කාන්ඩයක් යවන්නේ නම් මහත් ඵල මහත් ආනිසංස ලබා ගනු හැකි වෙනු ඇත. ඒ සදහා වැඩේ හරි ගිය පසු තැපෑලෙන් නොව ගෙදරටම ලක් වාසී සියළු දෙනාම පුද පඩුරු හා පූජා භාන්ඩ සපයා වී. ම්....ඒකෙන් කාරි නැහැ.

කවුරු නීච වුනත් කවුරු රොඩී වුනත් අපට කම් නැත. මනුසත් කම මිසක අපට කුල ප්‍රශ්නයක් නැත. නමුත් බෞද්ධයන්ගේ උත්තරීතර සංඝරත්නය රොඩීන්ගේ නීච කුලයන්ගේ රැකියාවන් කරන තැනට පත්වනු බලාසිටීය නොහැක. බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ වශී මන්ත්‍ර ‍ජප කිරීමෙන් නොවේ. දුගී ජනයාගේ සිත් සුවපත් කලේ දෙහි කැපීමෙන් නොවේ. තමාගේ පිහිට පතන ජනතාව සොයා ගියේ අදුනින් බලා නොවේ. ඒ වගේම ගිහිගෙයින් නික්මී සිවුර දෙවුර ලා පැවිදි දම් පුරන්න සාසනාරූඩ වන්නේ මුදල් හම්බ කිරීමට නොවේ. තමාගේත් හත්මුතු පරම්පරාවේත් ලෝවැසි ජනයාගේත් නිවන් අවබෝධය පිණිස දහම් අවබෝධය තකාය. නැතුව හැර ගිය පෙම්වතා ගෙනත් දෙන්නවත් රූබර ලදකගේ ඇසුර තව කෙකුට ලබා දෙන්නවත් නොවිකෙන ඉඩම් කාගේ හෝ ඇගේ ගසා දීමටවත් තම විරැද්ධ වාදියාට පාඩමක් උගන්වා උගේ ජීවිතය කාලකන්නි කිරීමක් කර දීමටවත් නොවේ. අදුන බලා සොරුන් අල්ලන්න දනීනම් ඔහු පැවිදි දිවියට නොව රහස් පොලීසියට අනියුක්ත විය යුතුය. එමගින් විශාල මුදල් සම්භාරයක් සොයාගැනීමට හැකිවාක් පමනක් නොව රටට විශාල සේවාවක් කිරීමටද අවස්ථාවක් ලැබේ. සිවුර දරා මෙවැනි ගුප්ත වැඩ කිරීමෙන් සාසනයටද අගෞරවයක් සිදු කරනු ලබයි. සංඝරත්නය මෙලෙස බාල බොළද වැඩ කිරී‍මෙන් වෙනත් ආගමිකයින් සිතාවී මෙයත් මේ බුදුන් දේශනාකල ධර්මයක් මැයෙන්. ඉතින් උත්තරීතර නිර්මල බුද්ධ දර්මයේ නිර්මලත්වයට කුමක් සිදු නොවේද? තවද මෙවැනි සංඝරත්නය සම්බන්ධ දැන්වීම් ප්‍රසිද්ධ මාධ්‍යයන් මගින් ප්‍රචාරය කිරීමෙහි වාරණයක් යොදන්න බැරිද? සාසනයේ විනය පාලනයට කුමක් සිදුවීද? මෙලෙස ඩෙගා නටන ස්වාමීන් වහන්සේලා කෙරෙහි විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට නායක ස්වාමීන් වහන්සේලා හෝ භික්ෂු විනය පාලක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් නොවන කාරනයක් වටහා ගනු ෙනාහැකිය.


2009/10/27

Cookery යාවී කාලේ සොකරී

ඔන්න තවත් අළුත් විදිහේ සංදුවක් ලිවුවා. මේක මේ චින්ති ලොක්කගේ Style එකට නව පන්නයේ ඔය Show එක දාන කෙල්ලෝ ගැන ලිපු එකක්. දන්නවනේ Tea එකක් වත් හදා ගන්න බැරි කෙල්ලෝ ඉනන්වනේ ලංකාවේ දැන්. ලෝකේ නැති පාට ගොඩක් ඇස්වලයි බැමිවලයි අරවගෙයි මේ වගෙයි උලාගෙන තුන්කාලේ ඩෙනිමක් ලිහිසි තෙල් හරි මොනා හරි දාලා යන්තම් උඩට උස්සගෙන MAYA 64 Bit දාලා කොල්ලගේ Pocket එකටත් විදලා ඌටත් Boot එක තියලා අන්තිමේදි කසාද බදින්න කිට්ටු වෙනකොට Cookery Class යනවා. ගිහින් මොනාද ඉගෙන ගන්නේ පොල් සම්බෝල හදන්න. අහ් මෙයාලගේ කටේ අර කොහොල්ලෑ ගුලියයි Sorry අනේ Word එකයි නම් නැතිවේන්නෙම නැහැ. හනේ.........ලංකාවට වෙච්ච දේ.....කියවලා බලන්නකො R&B වගෙ Beat එකක් හිතේ තියාගෙන.

හීනි ඉග සුග මීන නෙතු යුග
මනමත් කරවන බැලුම් හෙලා
මුසා දොඩා පෙම් හද් රිදවා
Cookie කාවී නව නාරී


පුදුමයි ලෝකේ නව නාරි
සාරී ඔසරී ඇ නාදී
කාලී වාගේ හැඩ වැඩ වී
පාරේ යාවී කාලේ සොකරී


පුදුමයි ලෝකේ නව නාරි
ගෝරී දාවී කියා Sorry
නොදනී කියා හරි හැටි recipe
Cookery යාවී කාලේ සොකරී

2009/10/24

මල් රැජින

සියොලගම හිරිගඩු පිපෙන සීතලම සීතල හිමිදිරි පාන්දර හිරු රැසින් ඉදුල් නොවුනු දුහුල් මීදුම් සේල අතරින් විකසිත වන්නනට අර අදින සුදුපාට පුංචි පුංචි මල් පෙති වගේ සීතලේ ගැහි ගැහි පිය මනින මල් කෙල්ලන් අතරේ මල් රැජිනක් වගේ. සුළගට එරෙහිව දගකරන මල් රේනු වගේ දගකාරකම. තුෂාරාවන් ගෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් බට්ටිච්චන් මෙන් කිචිබිචි ගාන්න සලිත කරනා තොලගේ කැල්ම. ආල වඩන්න හිතෙන ඒ හුරතලය. උපමා උපමේය නොදන්න පුංචිම පුංචි හිතක් එක්ක ආලවඩයිද ඒ මල් රැජින.



කුමරියේ මල් මල් විලේ
පිපිලා මල් කෙල්ලන් අතරේ
මල් රැජිනක් වී හිම මීදුමේ
නොඉදුල් මල් සුව සීතලේ


රගදෙන මල් රොන් සුළගට
දග වැඩි එයි ඔය තරමට
හරිම බොලද නුබෙ හදවත
සත්තකින්ම වටිනවා මට


පොපියන දෙතොළග කැල්මට
උපමා නැහැ තව මිහිමත
ආලවඩන පොඩි හිතකට
දෙනවද ඔය මල් රොන් සුව

2009/10/22

පූජා වී නැත තාමත් අශෝකමාලා

සාලිය අශෝකමාලා දෙන්නාව කවුරු කවුරුත් දන්නවා නොවැ. ශ්‍රී ලාංකීය ආදරණිය පෙම් පුරා වෘත්තයන්ගේ සදාතනික පෙම් වෘතාන්තයක් නොවැ. මටත් හිතුනා ටික වෙලාවකට සාලිය කුමරා වෙන්න. මම ගියේ ඉස්සෙල්ලාම සාලිය කුමාරයාට අශෝකමාලාව හම්බ වුනාය කියල හිතින් මවා ගත්ත ස්ථානයකට. කොටින්ම කියනවනම් දෙන්නා Scene එකට ඉස්සෙල්ලාම Enter වුන තැනට. ඒ වේලාවෙදි අපි අතරේ සිදුවුන දෙබස තමයි මම පහතින් පෙළ ගස්සවලා තියෙන්නෙ.(පරණ සිංහල හරි පරණ හිංදි හරි චිත්‍රපටයක ගීතමය ජවනිකාවක් කියලා හිතාගන්නකෝ)


ඔන්න සාලිය කුමාරයා අශ්වයා පිටින් ටක්කුට ටක්කුට ටක්කුට කියල ගමනක් යන ගමන් ලස්සන ගැහැනු ලමයෙක් දැකලා Break පාරක් ගහනවා. අශ්වයා බුහේ..හ්.එහ්..එහ්..හොග්..බුකුන් බුකුන් කියල සද්දයක් දලා (හේෂාරව ) අශ්වයා නවතිනවා. සාලිය කුමාරයා අශ්වයා පිටින් බහිනවා. අශ්වයා පිටින් බැහැලා වටපිට ටිකක් බලලා කාරිය ගැහැනු ලමයා ලගට කිටුවෙනවා. ලමයා මල් කඩ කඩ ඉන්නෙ. (Mobile එකෙන් නම් නෙවෙයි ) හැබැයි මේ වෙනකොටත් සාලිය කුමාරයා අශෝක මාලා නම් රුවැත්තිය ගැන කනින් කොනින් අහලා තිබුනේ. ඒත් දැකල නම් තිබුනේ නැහැ. ඒ උනාට අහල තිබුන විස්තර අනූව අනුමාන කර ගන්න අපහසු උනේ නැහැ මේ අර කිව් රුවෙත්තිය බවට. ඔන්න දැන් ගීතමය දෙබස පටන් ගන්නවා..ෂ්..ෂ්..ෂ්..ෂ්..ෂ්..ෂ්.ෂ්


සාලිය                - අශෝක මාලා නුබදෝ මේ පුර වෙසෙනා
                           අසා තිබුණි නැත එනමුදු කිසි දින දැකලා
අශෝකමාලා    - අශෝකමාලා මම මල් මාලා ගොතනා
                          නොදනිමි නුබ කවුරුද මට කියන්න කුමරා


සාලිය               - මල් අතරට මලකී නුඹ අශෝක මාලා
                          මල් නෙලාන පලදිනවද කියන්න මාලා
අශෝකමාලා   -  හරිම තුටක් ඇතිවුනා නුබේ ඒ බස් අහලා
                         බුදු සමිදුන් නමදිනවා මේ මල් තියලා


සාලිය               - මල් පිපෙන්නෙ බබරුන්ටයි දන්නවද ඔයා
                          බබරෙකු හට හිත දිලද අශෝක මාලා
අශෝකමාලා   - බබරුන් කෙතරම් ආවත් ගීතිකා ගයා
                         පූජා වී නැත තාමත් අශෝකමාලා

2009/10/21

කරන්නන් වාලේ කරන්නට ගොස් ඇන ගත්තු Reality පෙරහැර

     වර්ථමානයේ රූපවාහිනී මාධ්‍යය ය තුල Reality Show නැතිවම බැරි අංගයක් වී ඇති තැනට කටයුතු සිදුවී ඇත. ඒ නිසා විය යුතුය එකෙක් පරයා තව එකෙක් අනෙකාට නොදෙවෙනි වන ලෙස Reality Show කරන්නට පෙළබී ඇත්තේ.


     ස්වකීය දේවල් ඉදිරිපත් කිරීමට තරම් ධෛර්යයෙන් මද සිරස කොහෙන් හෝ පිට රටකින් කුමක් හෝ කසල ගොඩක් උස්සාගෙන විත් අපේම දෙයක් මෙන් ඉතාමත් මනස්කෘත සැරසිලි මගින් ආවරනය කර දෙනෙත් හරහා අපගේ හිස් තුලට බ‍ලහත් කාරයෙන් ම ඔබ්බවනු ලබයි. අපිද ඒ සිරිකිතයන් තළු මර මර රසවිදින්නෙමු. එලෙස ගෙනා එක් වැඩසටහනකි Sirasa Super Star. එය කොතෙක් දුරකට ජනප්‍රිය වූයේද යත් දැන් හැම චැනල් එකකම කුමක් හෝ Star වැඩසටහනක් ඇත. ස්වාධීන රූපවාහිනිය , දෙරණ රූපවාහිනිය, ස්වර්ණවාහිය හා ජාතික රූපවාහිනියද මේ ආකාර අනුකාරක වැඩසටහන් ඉදිරිපත් කලාද කරමින්ද සිටී. නමුත් ඔවුන් කාහටවත් සිරස තරම් ලස්සනට මේවා පාර්සල් කිරීමට නොහැකි නිසාවෙන් තවමත් මෙහි අංක 1 ස්ථානය සිරස සරි කරගෙන ඇත. එහි විවාදයක් නැත.


     ස්වර්ණවාහිනිය තමන්ගේ බල පුළුවන් කාරකම රටටම පෙන්වන්න සතියේ එක දිනකට පමනක් සීමා නොවී සතියේ දින 5ක් පුරාවට නෙක නෙක Reality වැඩසටහන් ඉදිරිපත් කරන්නට යෙදුනි. ජයග්‍රාහකයන්ට අසීමිත වටිනාකම් වලින් යුත් තෑගි බෝග ඉදිරිපත් කරන ලදි. Loving star කියා ඉතාමත් ජරාකෘත වැඩසටහනක් ඉදිරිපත් කර ඇන ගත්තේය. Shadow Star, Siging Star, Comedy Star, Talant Star කියා නොයෙක් නම් වලින් ඉදිරිපත් කොට අපට රෑ අහසේ තරුවක් දැක්කත් මල පනින තරමටම Stars එපා කරවීය. Twinle twinkle little star සින්දුව ඇහුනත් දැන් යකා නගින්නේය. ඒ තරමටම ඒවා මෙලෝ රහක් නැති ගුනාත්මක බවින් මද (Low Quality) වැඩසටහන් ගොන්නකි. කෙටියෙන්ම කිවුවහොත් කරන්නන් වාලේ කල වැඩසටහන් මාලාවකි. තමන්ගේ වත්කම් හා ඇති හැකියාවන් පුරසාරම් දොඩන්න ඉදිරිපත් කල වැඩසටහන් මාලාවකි. එහි ගුනාත්මක බව කොතරම්ද පහත් ද කියා අවසන් මහා තරගයේදි මනාව විද්‍යාමාන විය.


     දක්ෂ වෘත්තීය නිවේදකයකු වන ලහිරු එදා නිවේදනය කරනවා වෙනුවට බෙරිහන් දී කෑ ගසා ඉල්ලාගෙන කෑවේය. වෘත්තීය නිලියක වන අනුෂා ලහිරුට වඩා කැපීපෙනෙන ඉදිරිපත් කිරීමක් කලේය. Siging Star වලින් අවසන් මහා තරගයට ඉදිරිපත් කල තිදෙනා නම් මේලෝම රහක් නැත. ඔවුන් අවසන් මහා තරගයට තේරීපත් වුනේ සැබැවින්ම SMS මගින්ද නැතහොත් සංවිධායක වරුන්ගේ ඕනෑ එපා කමකටදැයි අපි නොදනිමු. SMS මගින් තේරුන අයනම් මීට වඩා ආකර්ශනීය වුත් දක්ෂවූත් ගායනයක් එදා ඉදිරිපත් කල යුතුව තිබිණි. නමුත් එය එසේ නොවිනි. තවද වේදිකාව මත ශබ්ද පරිපාලන‍යෙහි (Sound Controling) කිසිදු වෘත්තීය බවක් නොදුටුවෙමු. එමගින් තරග කරුවන් තිදෙනාගේ හැකියාවන් තව දුරටත් පහත හෙලන ලදි.


     දෙරණ Dream Star සිරස Super Star යම් ගුනාත්මක බවක් රදවාගෙන මෙම Reality වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. සිරස තරුනයන් කැමරාව ඉදිරියේ ප්රාහසනයකට ලක් කලත් ‍නොකා නොබී බලා සිටීය හැකි ලෙසත් සවන් දිය හැකී ලෙසත් තම වැඩසටහන ඉදිරිපත් කරනු ලබයි. සිරස තරුනයන් කැමරාව ඉදිරියේ ප්‍රහසනයන්ට ලක් කිරීම ගැන වෙනම සාකච්චා කර යුතුව තිබේ. ඒ සදහා මෙම ලිපිය අවස්ථාවක් කර නොගනිමි. තවද දෙරණ Dream Star වැඩසටහන පලමු අදියරයට වඩා ගුනාත්මක බවකින් මේ වන විට සුමදුර ලෙස ගලා යන බවක් පෙනෙන්නට තිබේ. එහි ප්‍රහසනයන නැතිය. ශබ්ද පරිපාලන‍යෙන් ද ඉදිරිපත් කිරීමේ ගුනාත්මක බවින්ද ඉහල මට්ටමක පවත්වාගෙන යාමට සංවිධායකයන් උත්සහයක් ගන්නා බවක් පෙනෙන්ට තිබේ. එමගින් නවකයන්ගේ හැකියාවන් තව දුරටත් ත්‍රිවුර ‍කරනු ලබයි.කොපි කෙරුවත් එය හරියට කොපි කර ඉතා රසවක් වූත් ආකර්ශනීය වුත් වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නම් මැනවිය. කරන්නන් වාලේ නොකර තියෙන දේත් නීරස නොකර වඩා හරවත් වූත් රසබර වූත් දෙයක් දෙන ලෙස අපි මෙම මාධ්‍යය ආයතනයන්ගෙන් ඉල්ලා සිටිමු.


     මේ සා විසාල මුදල් කන්දරාවක් වියදම් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන කාරනාවන් අපට හරි හැටි ධාරනය කරගනු බැරිය. නමුත් කිසිදු සුවිශේෂත්වයක් නැති මෙවන් තරග කරුවන්ට මේ සා විසාල මුදල් කන්දරාවක් වියදම් කරන වෙලේ අප වෙනුවෙන් මානුෂීය මෙහෙයුමේ අසීමිත කැප කිරීම් කල වීරෝදාර රණවිරු සහෝදර සහෝදරියන් වෙනුවෙන් යමක් කලානම් සැබැවින්ම ශ්‍රි ලාංකාවට අභිමාණයකි.

2009/10/20

උපතින්ම දෙසවන් නෑසෙන්නන් කල්පනා කරනුයේ කෙසේද?

     අපට අදහස් ප්‍රකාශ කිරීමටද අදහස් හුවමාරු කරගැනීමටද අදහස් ගොඩනැංවීමටද ක්‍රම 3ක් ඇතැයි මම අනුමාන කරමි. ඒ නම්


1. ශබ්දානුකූල භාෂා මාධ්‍ය ය
2. චලන හෝ නිශ්චල රූප මාධ්‍ය ය
3. හස්ත හෝ ශරීරාංග චලන මාධ්‍ය ය


     අදහස් ප්‍රකාශ කිරීමටද අදහස් හුවමාරු කරගැනීමට අපට ඉහත දැක්වු තුන් ආකාරයම උපකාර කර ගැනීමට හැකි වුවත් අප යම් සිතිවිල්ලක් ජනිත කරවීම උදෙසා මින් උපකාර කර ගනුයේ කිනම් ආකාරයද? මාගේ අදහස හැටියට නම් සාමාන්‍ය මිනිසුන් සාමාන්‍යයෙන් හිතනුයේ තම මවු භාෂාවෙන්ය. එවිට යම් ස්ථානයක්, වස්තුවක් හෝ සිදුවීමක් මතක් කර ගැනීමටත් උපකල්පනය කර ගැනීමටත් රූප මාධ්‍යය හෝ ශරීරාංග චලන මාධ්‍යය උපකාර කර ගත හැකිය. එය එසේ නම් උපතින්ම දෙසවන් නෑසෙන්නෙකු සිතනුයේ කුමනාකාරයටද? මක් නිසාද යත් ඔහුට කිසිදු ශබ්දයක් නෑසෙන හෙයින් ඔහුට ශබ්දමය භාෂාවක් නැති නිසාය. නමුත් ශරීරාංග චලනය මගින් ඔහුටද අන් අය සමග අදහස් ප්‍රකාශ කර ගැනීමට හැකියාව ඇත. එසේ නම් ඔහු සිතිවිලි ජනිත කරනුයේද ශරීරාංග චලන මාධ්‍ය ය කින්ද? එසේ යයි අනුමාන කරන්නේ නම් ස්ථාන නාම පද (උදා-මහනුවර, ඇමසන් වනාන්තරය) වැනි දෑ ඔහු සිතනුයේ කුමන ආකාරයටද?


     සාමාන්‍යෙෙයන් අප ඇද උඩට වී කල්පනා කරනුයේ මවු භාෂාවෙන් නම් උපතින්ම දෙසවන් නෑසෙන්නෙකු කල්පනා කරනුයේ ද සිතනුයේ ද සිතිවිලි ජනිත කරනුයේ ද කුමන ආකාරයකටද? මට ප්‍රශ්නයක් වු මෙය ඔබටද ඇති වු ප්‍රශ්නයක් විය හැකිවාක් මෙන්ම මේ සදහා තාර්කික උත්තරයක් නැත්තවුන් සමහරෙක් මෙය මෝඩ ප්‍රශ්නයක් යැයි සිතා ඉවතලනු ඇත. ඉන් ඵලක් නැත. තර්කා‍නුකූල සෙ අදහස් ප්‍රකාශ කල හැක්කන් ඔබගේ වටිනා තර්කයන් ඉදිරිපත් කරන ලෙසත් මේ සම්බන්ධව විද්‍යාත්මක උත්තරයක් ඔබ දන්නවානම් හා ඒ සදහා මිඩංගු කිරීමට කාලයක් ඔබ සතු නම් මා හට එය පහදා දීමට කාරුණික වන ලෙසත් ඉල්ලා සිටිමි.

2009/10/19

මමත් පෙම් වතෙක්

චලන චිත්‍රවලින් නැරඹු, නව කථා වලින් කියවු ඒ සුන්දර පෙම්වතා වන්න මමත් කොයිතරම් සිහින මැවුවද. හුරතල් වෙන්න, රන්ඩුවෙන්න, සවාරි යන්න කොපමන හීන මැවුවද. මගේ ඒ සිහින මගේ නෙතු මානෙට ගෙන ආව අහිංසකම සමනලී ඔයයි, සදමෙන් සුන්දර මගේ පෙම්වතී ඔයයි. මගේ ඒ සිහින මාළිගා අහසේ පාවෙන දිලිසෙන තාරුකා මෙන් වර්ණවත් සිත්තමක් කල සිත්තරා ඔයයි. හරිම හුරතලේට බොලද කථා කවි ලෙසින් කියන්නේ මමත් පෙම්වතෙක් වුන ඉමහත් වු ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් නැහැවෙමින්.


මමත් පෙම් වතෙක්
නැහැ වෙමි ප්‍රථම ෙප්‍රමයෙන්
බොලද කථා හුරතලේට
කියමි කවි ලෙසින්


මගේ පෙම්වතී
අහසේ සදවතී
සොදුරු සිහින නෙතු මානෙට
කැන්දු සමනලී


සිහින මාළිගා
අහසේ තාරුකා
හදවත තුල සිත්තම් කල
සිහින සිත්තරා

2009/10/16

චන්ද්‍ර චාරිකාවේ ශ්‍රි ලාංකිකයෙකුගේ සිහිනය

මේක මටම වුන සත්‍ය සිදුවීමක්. අපි හදට ගිහින් 40 වෙනි අවුරුද්ද ද කොහෙද සැමරුවානේ ජුලි 20 වෙනිදා මට මතක හැටියට. අන්න එදා තමයි මේ සිදුවීම වුනේ. එදා ඉතින් දවසෙම ඇහෙන්නේ සද සද නීල් ආම්සිෙට්‍රා්න්ග් ඇපලෝ 11 ඇමෙරිකන් කොඩිය නාසා ආයතනය වගේ වචනනේ. ඉතින් මමත් අන්තර්ජාලය පීරලා චන්ද්‍ර ගමන ගැන විස්තර හෙවුවා එදා දවසෙම. ඒ අතරේ ‍ගොඩක් දුරකට පිළිගත හැකි සාදක තියෙනවා චන්ද්‍ර ගමන බොරුවක් ය කියන එක තහවුරු කරන්න. ඒවා ගැන පසු වෙලාවක කථා කරමුකෝ. කෝම හරි ඉතින් දවසෙම චන්ද්‍ර කථා අහල අහලා මට එදා රැ නින්දෙනුත් චන්ද්‍ර ගමනක් තමයි දැක්කේ. හැබැයි වෙනසකට තියෙන්නේ ඒ හීනේ ගගන ගාමියා ශ්‍රී ලාංකිකයෙක්. ‍ආඩම්බරයි නේද? හිහ්... හිහ්... හිහ්... මේ ලියන මම ම තමයි ගගන ගාමියා. හිහ්... හිහ්... අහ් කියවල බලන්නකෝ මගේ චන්ද්‍ර චාරිකාවේ තොරතුරු කෝමද කියලා.


නිහඩ රැයක නිදි දෙව් දුව මට කථා කලා
දෙනෙත පියන් ඇගෙ පහසට මම තුරුළු වුනා
ඇගෙ පහසින් සියොලග මගෙ මට අහිමි වුනා
තරු අතරින් සද ගාවට අපි ලගා වුනා


සදේ තැනක් පිරිමැද
දොරක් විවර කල ඇය
ඈත් එක්ක ඇතුල් වෙන්න මට අත දුන්නා
දොරෙන් ඇතුල වුන මම
දසුනින් ගැස්සුනා හදවත
රූබර සුර දූත ලියන් කෙලිදෙලෙන් ඇත


මේ සැබෑ සද මද
විගහින් බැලුවා වට පිට
සුර බවනේ බ්‍රාන්ච් එකක් මේහේ දාලද
අනේ මන්ද මා ගැන
මටත් දුමක් වැදිලද
කෝ එතකොට මං ගෙනාව ඇපල් යානය


නොරැදී එක තැන
මම දිවුවා හැමතැන
සැබැහින් දැක ගන්නට ඇමෙරිකානු කොඩිය
මට තියෙන කුලප්පුව
සදේ වත් නැහැනෙ නිසංසුව
පයලිස්සා ගිහින් වැටුනා සදෙන් පහලට


මගේ හුස්ම හිර වුනා
ගුවනේ පාවෙලා ගියා
ඒ එක්කම පෘථිවිය මත ගැටුනා දැනුනා
මම මැරිලා නැති නිසා
බැලුවා හොයලා කාරනා
බැලින්නම් මා ඇදෙන් වැටිලා දගලපු නිසා

2009/10/14

ප්‍රවෘත්ති විකාශනයන්ගේ අදෝනාවන් තවත් ඉවසා සිටිමුද?

     රූපවාහිනී හා විත්‍රපට මගින් කාමුක රැල්ල කෙමෙන් කෙමෙන් දුරුවී යන සමයක වර්ථමානයේ නව ආරක රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවාදෝයි යම් සැක සංකාවක් මගේ සිතට කාන්දු වෙමින් පවතිනවා. සමහර විට ඔබටත් එය දැනිලා ඇති කියලා මම සිතනවා. ඒ තමයි අධි සංවේදි දර්ශන, හඩ පට හා සංගීත කොටස් ඇතුලත් රුප රාමු විකාශනය කිරීම.


     රූපවාහිනී නාලිකා තමන්ගේ වැඩසටහන් ජනතාව අතර ප්‍රචලිත කිරීම උදෙසා තම වැඩසටහන් නානාප්‍රාකාර අයුරින් ඉදිරිපත් කිරීමේ තරගයක යෙදී සිටීන අතර සිරස ආයතනය මගින් තරුවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුන තරුනියන් කැමරාව ඉදිරියට ගෙන්වා මුළු ලංකාවටම පේන්න ප්‍රහසනයට ලක්කර ඔවුන්ගේ චරිතය ඝාතනය කර SUPER STAR නම් තම වැඩසටහන ඉතාමත් ඉහල ජන ආකර්ෂණයක් නතු කරගත්තා. පසුව වෙනත් නාලිකාද ඒ අනුකාරක වැඩසටහන් ඉදිරිපත් කලා හා කරමින් සිටිනවා. මෙයද එක් ආකාරයක ජන ආකර්ෂණය ලබා ගැනීම උදෙසා ජනතාවගේ චරිත ඝාතනය කරන එක් වැඩසටහනකි. හිනා ඉනා නම් වැඩසටහන මගින් ද පදිකයින් මුලාකර සිනාසුනා. මා මෙය උදාහරණයක් විදිහට දැක්වූයේ එය ඉහලම ජන ආකර්ෂණයක් ලබා ගත් වැඩ සටහන් නියාවෙනි. නමුත් එය තම ස්ව කැමැත්තේන් ඉදිරිපත් වී ප්‍රහසනයට ලක් වීමක් නිසා ඒ ගැන වෙනම කථා කල යුතුව තිබේ. ප්‍රශ්නය මෙය නොව ප්‍රශ්නය වන්නේ රූපවාහිනි නාලිකා මගින් අධි සංවේදි දර්ශන ඇතුලත් රූප රාමු විකාශනය කිරීමට පෙලබීමක් ඇති වී තිබීම යි. විශේෂයෙන් ස්වර්ණවාහිණිය මගින් මෙම නව රැල්ල නිර්මාණය කිරීමෙහි ලා මූලික අඩිතාලම දමා තිබේ.


     යෙහෙලී වැඩසටහන මගින් හිංසනයට පත් වූ කාන්තාවන් ගැන කථා කරනවාය කියා එම නිවේදිකාව ද ඉකිබිද හඩයි. සංවේදි ප්‍රශ්න අසයි. එමගින් හිංසනයට පත් වු කාන්තාවද කදුළු සලයි. වැඩසටහන නරඹන සංවේදි හිත්තැත්තෝද කදුළු සලයි. පුද්ගලිකව හෝ උත්තර දිය නොහැකි ප්‍රශ්න අසන වෙලාවල් ද නැතුවා නොවේ. මෙය දෙනෝදාහක් එකට සිට නරඹන වැඩසටහන් ය. එම නිවේදිකාව එම කාන්තාවන් තමන්ගේ යෙහෙලියන් මෙන් තුරුලු කරගෙන මවු සෙනෙහය රැකවරණය දෙන සේ කථා කරයි. කොතෙක් දුරකට එය සැබෑ සෙනෙහසක් දැයි අපි නොදනිමු නමුත් මෙම ගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?


     තවද ස්වර්ණවාහිනී හා සිරස ප්‍රවෘත්ති මුලිකව අනෙකුත් ප්‍රවෘත්ති මගින්ද මෙවැනි රූප රාමු ඉදිරිපත් කරනු ලබයි. මෘත දේහ බදාගෙන හඩන දර්ශන, මියගිය අයගේ භාරකරුවන් විලාප තියන දර්ශන, දුක්ඛ සන්තාපය හේතුවෙන් සිහිවිකලෙන් කරන කියන දැ හා ඔවුන් ගෙන් ඒ මොහොතේ ලබාගන්නා වාග් ප්‍රකාශ වැනි දැ විකාශනය කිරීම මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයන් මගින් සිදුකරනු ලබයි. ඒ සන්තාප මොහොතේ ඔවුන් කරන කියන දැ කුමක්දැයි ඔවුන් නොදන්නවා විය හැකියි. මේ කැමරා කරන්නේ මුළු රටටම පෙන්වන්න දැයි ඔවුන් නොදන්නවා විය හැකියි. දැනගත්තත් ඒ සදහා එරෙහි වීමට හැකියාවක් ශක්තියක් මානසිකත්වයක් නැතුවා විය හැකියි.


     ඒ වගේම මෙවැනි පුද්ගලික දර්ශන විකාශනය කිරීමට ඔවුන්ගෙන් ඔවුන් අවසර ලබාගත යුතු නොවේද? එලෙස අවසර ලබා නොගන්නේ නම් එය බලහත්කාර කමක් නොවන්නේද? තවද ස්වර්ණවාහිනිය මගින් සමහරක් දර්ශන ඔවුන් ත්‍රිතමාණ සජීවීකරණය ද වීඩියෝ ප්‍රයෝග බාවිතයෙන් ද හා සජීවි ලෙස ද ප්‍රථිනිර්මාණය කර විකාශනය කරනු ලබයි. ඝාතනය කරනු ලබන දර්ශන වෙදනාබර හඩ කොටස් ස්ත්‍රී අපයෝජන වක්ක්‍රාකාර දර්ශන හා හඩ කොටස් හා එවැනි සංසිද්ධීන් ත්‍රීවුර කරන්නා වූ වාදනයන් මුසුකර විකාශනය කරනු ලබයි. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන සමාජ ප්‍රථික්‍රියාව කුමක් ද?


     මෙවන් දර්ශන නරඹන්නේ එකම ආකාරයක හිතැත්තෝ නොවේ. වැඩිහිටියන් නරඹනවා විය හැකියි, කුඩා ළමුන් හෘදයාබාද සහිත රෝගීන් අධි සංවේදි හිත් ඇත්තන් පමනක් නොව පවුලේ සියළු දෙනා එකට සිට නරඹනවා විය හැකියි. ඒ විතරක්ද ඒ අවස්ථාවට මුහුණ දුන් අය පමනක් නොව එවැනි අත්දැකීමකට මුහුන දුන් අයද නරඹනවා විය හැකියි. එමගින් ඒ අවස්ථාවට මුහුන දුන් අය ද ඒ පවුලේ සාමාජිකයන් හා නැදැ හිතවතුන් සමාජ‍ය ඉදිරියේ ලජ්ජාවට පත්නොවන්නේද? සමාජය ඉදිරියේ අපහසුතාවයන්ට පත්නොවන්නේද?


    මුළු දවස ති‍ස්සේ වෙහෙස මහන්සි වී හෙම්බත් වී සිටින අප ගෙදර රූපවාහිනය ඉදිරියට කිට්ටු වන්නේ දවසේ වෙහෙස මහන්සිය දුරුකර ගැනීමට හා රට ලෝකයේ අද දවසේ සිදුවුන දැ ගැන දැනීමක් ලබාගැනීමට හා රසාස්වාදයක් වින්දනයක් විද හිසේ පවතින්නාවු බර ගතිය අඩුකර සැහැල්ලු වීමට විනා මෙවැනි ඇඩියාවන් නරඹා තවත් බරක් හිසට දමා ගැනීමටද? මෙවැනි ප්‍රවෘත්තිද අප අසා දැන ගත යුතුය. ඒ අගේම එවන් තොරතුරු විකාශය කිරීමටද ජනමාධ්‍යහට අයිතිය හා හැකියාව තිබේ. නමුත් එම අයිතිය හා හැකියාව තම ආයතනයේ ප්‍රසිද්ධිය හා වැඩසටහනේ ජන ආකර්ෂණය උදෙසා භාවිතා නොකර යම් ශීලාචාර කමකින්ද ශිෂ්ඨ සම්පන්න කමකින් ද එමගින් එම අවස්ථාවන් හට මුහුණ දුන් හා සම්බන්ධ අයට අවැඩක් ලජ්ජාවක් අපහසුතාවක් ඇති නොවන අයුරින්ද ඉදිරිපත් කරන්නේ නම් මනා යැයි මගේ හැගීමයි. ඔබත් මේ පිළිබදව අවදියෙන් ද?