2010/09/29

කල්පයක් තව බලාන ඉන්නම්












මුතු කදුලක් නෙතු යුග සරසන්නට
දෙබඩි සිතක් නැත නුඹ හද රිද්දන
සමාධියේ හැර නොමැත නුඹ මට
සමාධියක් වුන වෙන
රුවක් කොතැනක

අප හමුවේ දෙගුරුන් අනසක නම්
ඉවසමු නිදහස දිනක ලැබේ නම්
සුන්දර ප්‍රේමේක අකුලක් නැති නම්
මිහිරක් නොරැදේ සිනහා වේ ම නම්
කදුළු කථාවේ තව දුර එන්නම්
නෙතග කදුළු පිස ලන්නට දේ නම්
සිතපාමුල නුබේ සැමදා මා නම්
කල්පයක් තව බලාන ඉන්නම්


2010/09/26

ඔබේ විවාහයත් ගන්න ඉන්නේ අනුන්ගේ සල්ලි වලින් ද?

නැවත පලකිරීමකි

මේකත් මේ මගුල් කථාවක්ම තමා. මතකනේ මගුලයි කුකුලයි ගැන සහෘදයා පෙර දිනයක කථා කලා. ඒක කියවපු නැති ඈයන්ට ඔය තියෙන්නේ පහලින්. එතන නැතිනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ. ඒ කථාව අන්තිමට වෙන පැත්තකටනේ ගියේ. ඒකෙන් කමක් නැ. කියන්න තියෙන ටික කිවුවනේ කාට කාටත්. මේකත් මේ ඒ වගේම සීන් එකක් තමයි. මේක මේ කාටවත් මඩ ගහන්නවත් ආසන්න සිදුවීමක් හෝ මූලිකව කරගෙනවත් ලියන ලද්දක් එහෙම නොවන බවත් කරුණාවෙන් සලකත්වා. මේවා ගැන ලියන්කොට A4 පිටු 3 4ක් ලියන් අදහස් ආවත් කියවන්නන්ගේ රුචිය තකා ඉතාම කෙටියෙන් ලියන්න උත්සහ ගන්නත් ඕන. නිකම්ම නිකන් වස කම්මැළියේ කල්පනා කර කර ඉන්නකොට හිතෙන දේවල්. මේකට නම් මට කට්ටිය අතින් පයිනුත් ගහයිද මන්ද. ඒත් ඉතින් මක්කක් කොරන්ටද හිතන්න තහන්චි නැතිමුත් ලියන්න තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරභයා සගවාගෙන සිටිම්ද?

මගුලක් ගන්නවා කියන එකත් දැන් කාලේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවැයැ. ඉතින් සෑහෙන වියදමක් කරන්න සිද්ද වෙනවා. ඉස්සර නම් වෙලා තියෙන්නේ ලගම නෑයෝ නොනෑයෝ ටික එකතුවෙලා ගෙදරම කෑම බීම ටිකක් හදාගෙන ගෙදරම ඉතාම සරළව ඔය කාරිය අහවර කරන එක. ඉතින් ඕකට ඒතරම් වියදමක් නැහැනේ. ඒකට දැන්. දැන් කොරන මගුල් ගැන ඉතින් අළුතින් කියන්න දෙයක් නැහැ නොවැ කවුරු කවුරුත් දන්නවා නේ කාරිය. මුළු ලෝකෙටම පේන්න ගන්නත් ඕන ඒ‍ උනාට පොකට් එකත් හිස්. ඒත් ඉතින් ලෝකය හොල්ලන මගුලක් නොඅරන් කෝමද?

ඒකට දැන් හොයාගෙන තියෙන සාර්ථකම ක්‍රමය අනුන්ගේ සල්ලි වලින් මගුල් කෑම. ඒ කියන්නේ අනුන්ගේ සල්ලි වලින් මගුල් කනවාය කියන එක. තවත් සරළව කිවුවොත් කාටවත් ණයත් නොවී තියෙන සබ්බසකල මනාව වියදම් කරගන්නෙත් නැතිව ඉතාම ඉහල මගුලක් අරගෙන ඒ උත්සවයට පැමිණෙන්නන්ගෙන් අර උත්සවයේ වියදම පියවා ගැනීම. හරියට ඇතුල් වීම නොමිලේ පිටවීමට ගාස්තු අයකෙරේ ව‍ගේ සීන් එකක් නේ මේක. ඒකනේ පිටවෙන දොර ගාව ලියුම් කවර බන්දේසි එහෙමත් තියලා තියෙන්නේ සමහර මගුල් ගෙවල් වල. අනේ මන්ද අර මොකද්ද කාලේ වනේ වාසේ කිවුවා වගේ. දැන් ඉතින් ඒ උත්සව වලට යන ඇයොත් අත් දෙක හොල්ල හොල්ල ගිහිල්ලා දෙන දේ කාලා නැති දේවල් වලට හිතින් බැන බැන තියෙන බ්‍රැන්ඩ් එක බීලා නැති බ්‍රැන්ඩ් වලට පච හල හල ඉවර වෙලා අන්තිමේදි කෙල සොටු දාදිය පිටින්ම දෙන්නටම උම්මා එකත් දීලා නම ලියපු ලියුම් කවරයක් දිග් කරලා හායි බායි කියලා තුහ් නොදකින් ගියායින් ගියේ නැහැ මෙහෙමත් මගුලක් දුන්න ගානටත් පාඩුයි කිය කිය හිතින් බැන බැන ගෙදර එනවා. ඇත්ත තිත්ත වුනාට වර්ථමානයේ බහුතරයක් මගුල් උත්සව වල සාමාන්‍ය සමස්ත ක්‍රියාවලීය ඕක තමා.

සමාන්‍යයෙන් නම් දෙදෙනෙකු විවාහ වන්නේ ජීවිතේ එකපාරනේ දැන් ඒක අසාමාන්‍ය වේගෙන ගියත්. ඉතින් ඒ ජිවිතේට ලැබෙන එකම එක අවස්ථාව ඉහලින්ම සමරන එක එයාලගේ සතුටනේ. ඉතින් ඒ සතුට බෙදාගන්න විසිරිලා ඉන්න නෑයෝ නොනෑයෝ ලගම හිතමිත්‍රාදීන් එක්කාසු කරගන්න එකේ වරදක් නැහැ නේ. ඉතින් ඒ සතුට බෙදා හදාගන්න ආව අයව පිළිගන්න කෑම බීම සංග්‍රහ සත්කාරත් තියෙන්න එපැයැ. ඒ වගේම එන ඇයොත් තමන්ගේ සතුට සුබ පැතුම නව යුවලට එක්කරන්න තෑගීබෝග එහෙම අරන් එන එකත් අරුමයක් නො‍වෙයිනේ. ඒත් ඉතින් අළුත් විෂම සමාජයේ තෑගි බෝග උස්සගෙන යනවට වඩා මුදල් ත්‍යාගයන් ලබාදෙන එක ප්‍රායෝගිකයි. මොකද එකම ත්‍යාගය කීප දෙනෙක් ගේන්නත් පුළුවන් නැතිනම් ඒ ත්‍යාගය ඒ දෙන්නට මෙලෝ රහක් නැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම එම භාන්ඩයේ අගයට වඩා එම භාන්ඩයට ගෙවන මූල්‍ය අගය වැඩි විය හැකි නිසා භාන්ඩමය ත්‍යාගයකට වඩා මූල්‍යමය ත්‍යාගයන් ලබාදීම වඩාත් ප්‍රායෝගිකයි. එවිට එම එක්කාසු වන්නා වූ මුදල් වලින් නව යුවලට තමන්ගේ අභිමතයන් මිළදී ගත හැකිය.

නමුත් එම උත්සව අවස්ථාවට සහභාගි වන්නන්ට ආරාධනා කරන්නේ තෑගි බෝග හෝ මූල්‍යමය වටිනාකමක් බලාපොරොත්තුවෙන් නම් හෝ හිත් කොනක එවන් ප්‍රාර්ථනාවක් සගවාගෙන නම් එය කොතරම් අග්ශිල දෙයක්ද? ඒ වගේම එම අවස්ථාවට සහභාගි වන්නන් සහභාගි වන්නේ එම යුවලට හදවතින්ම සුබ පතන්න නම් ඉතා ඉහල රස මසවුලු හෝ සංග්‍රහ සත්කාර බලාපොරොත්තු වීමේ තේරුම මොකද්ද? අපි අපේ හදවතේ ප්‍රිතිය සැබෑ ලෙසම බෙදා හදා ගන්න නම් කෙනෙකුට ආරාධනා කලේ ඔහුගෙන් හෝ ඇයගෙන් ත්‍යාගයක් බලාපොරොත්තු විය යුතු නැහැ නේද? ඒ වගේම අපි එම අවස්ථාවට සහභාගි වන්නේ සැබෑ ලෙසම ඔවුන්ට සුබපතන්න නම් ඉහල සංග්‍රාහ සත්කාර බලාපොරොත්තු විය යුතු නැහැ නේද? ඒ වගේම එම ආරාධිතයින්ට සංග්‍රාහ සත්කාර කිරීම ආරාධකයින්ගේ වගකීමකි. එලෙසම ආරාධිතයින් ත්‍යාගයක් ලබාදීම යුතුකමකටත් වඩා සිත්තොසක් විය යුතුය.

වර්ථමාන විෂම සංකීර්ණ සමාජය තුල ඇති මූල්‍ය භංගත්වය හේතුවෙන් මාසෙකට උත්සව අවස්ථා කිහිපයක් සදහා කෙනෙකුට ආරාධනා ලැබුන හෝත් එම පුද්ගලයා මුහුණ පාන ආර්ථිකමය ද සමාජීයමය ද හා මානසික ප්‍රශ්ණය ගැන ඕනැම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වටහා ගැනීමට අපහසු නැත. ඉතින් එවැනි සමාජ ආර්ථික වටපිටාවක් තුළ අප අපගේ විවාහ උත්සවයට ආරාධනා කරන්නනගෙන් සෑබෑ සුබ පැතුමක් බලාපොරොත්තු විය හැකිද? ඉතින් ඒ ගැන සිතා අප එවන් උත්සව අවස්ථාවකට සහභාගි කරගන්නන්ගෙන් යමක් බලාපොරොත්තු වීම සුබ නැහැ නේද? අපට පුළුවන් නම් අපේ ආර්ථික හැකියාවට ගැලපෙන අයුරින් ඉතාම සමීපතම ළබැදියන් විතරක් රැස් කර ඉතාම චාම්ව සංග්‍රාහසත්කාරයන් කරවා වගේම ඔවුන්ගෙන් ත්‍යාගයන් නොගෙන ඔවුන්ව සතුටින් විසුරුවා හරින්න හැකිනම් කොයිතරම් සැහැල්ලුවක් සතුටක් ඇති නොවෙයිද? “එතකොට සහෘදයා කියන්නේ එයාල ගේන ත්‍යාගයන් භාරගන්නේ නැතිව එයාලටම අරගෙන යන්න කියලද? එතකොට එයාල තරහා වෙයිනේ. අපෝ මෙයාලගේ ලොකුකම කියලා හිතයිනේ.” ඒකනේ දැන් ඔයාට තියෙන ප්‍රශ්නය? හ්ම්.......ඒකට මෙහෙම කරමු ඔය වෙඩින් කාර්ඩ් එක තියෙනවනේ ඒ කියන්නේ invitation එක අන්න ඒකේ යටින් ලියමු මෙන්න මෙහෙම

“ඔබගේ පැමිණීම ඉතාම අනිවාර්යෙන් බලාපොරත්තු වන අතර මුදල් හෝ ත්‍යාගයන් රැගෙන නොඑන ලෙස ඉතාම කාරුණිකව දන්වා සිටිමු.”

ඒක නිකන් අවුල් අවුල් වගේ නම් ඊටත් වඩා සුමටව හරි වාචිකව හරි අපි ආරාධනා කරන්නන්ව දැණුවත් කරමු. මේක මේ මහ ලොකුකමක් කියලා ‍සිතන්න ඕන නැහැ මොකද අපි හද පත්ලෙන්ම යහපත් චේතනාවකින් කරන නිසා අන් අයත් ඒ පිළිබදව අහිතකින් සිතන එකක් නැහැ.

ඒ වගේම මේ ලිපිය නිකන් ඇගිලි කහනවට කම්මැලිකමට ලියුව එකක්ය කියලා අහක දැම්මත් අවුලක් නැහැ. මමත් නිකන්ම නිකන් කම්මැලිවට අගිලි කහනවට තමා ලියුවේ. හැබැයි සහෘදයා මේ වගේ අවස්ථාවකට අනාගතයේ දවසක මුහුණ දෙනවනම් මේවා ඒ අයුරින්ම සිදු වේවි. ඉතින් එදාට මේ බ්ලොග් එක සාක්ෂියක් වෙයි . ඒ කොහොම උනත් මේක ගැන ඔයාලගේ අදහසුත් මට සැහෙන්න වටිනවා. සහෘදයාගේ පැතුම කෝම කෝම හරි ඔබේ විවාහයට සැබෑම සුබ පැතුමක් වේවා.


2010/09/23

සැනසෙමි සුවදින් ශ්‍රී ලංකා



කදුකර රෑසිරි හැලෙනා දිය ඇලි
ඇති ගම් මවු රට ශ්‍රී ලංකා
ගහකොල ඵල බර සීතල මද නල
ඇති ගම් මවු රට ශ්‍රී ලංකා

පියඹා ගොස් දුර සමුදුරු ඈතට
මවු අතහැර මගේ ශ්‍රී ලංකා
නුඹ තුරුලේ මිස නින්දක් කෝ මට
නෙතු ඉල්ලයි මගේ ශ්‍රී ලංකා

කය පිට රටකය සිත නුඹ ලගමය
සැනසෙමි සුවදින් ශ්‍රී ලංකා
පිම්මේ පැමිණෙමි තුරුලේ සැනසෙමි
බදාන රන් බිම ශ්‍රී ලංකා

2010/09/13

නුඹ වගේම ලස්සන නුබේ ගෙත්තම මා සතු



මල් මසාපු කොට්ට උරය නුබ මට දුන්නු
හිස තියාන සිහි කෙරුවා නුබේ රූ සොදුරු
නුඹයි කියා නුබේ දෑත එක්කහු කරපු
මල් පොකුරම සිප ගත්තා නුඹ මෙන් සිනිදු


සමන් පිච්ච මල් මෙන් හැඩ චූටි චූටි පෙතී
නෙක නෙක පාටින් හැඩවී හීනි හීනි කෙමි
ලස්සන සමනලයෙක් වසාලා ඒ මල් මත හිදී
ගෙත්තමක්ද සිත්තමක්ද සිතා ගනු බැරී


අඩුවක් නෑ සුවද නැතැයි මේ මල් සොදුරූ
කොපමන බැලුවත් ඇති නෑ පාටින් ප්‍රියකරූ
නුඹ වගේම ලස්සන නුබේ ගෙත්තම මා සතු
නොමැකෙන සිහි වටනයකී දිවියට එක් වුනු

2010/08/28

නුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැන



 

 
හිත හදා ගන්න හැදුවට අමතක කර දාලා
හීන වලින් වද දෙනවා මුලාවේ දාලා
එපා තවත් ලංවෙන්නට කදුළු සලාලා
සමාවෙන්න රත්තරනේ ආදරෙයි කියාලා


කදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලග
නෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුව
සැබෑ ලොවේ නැති සෙනෙහස කුමට නිදි ලොව
නුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැන


හිතන්නෙපා ඒවි කියා නුබේ පා ලග
අයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස
හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලග
කුමකට මා තනිවෙන්නද කදුළු හල හල

2010/08/22

සංවර නොව සංකර වනු මේ රැයට



සංයමයෙන් සුවද දෙමින් නිසංසලා
සංවර සිත නුබේ සුවදින් උමතු කලා
සංසුන් කිම මට නම් බෑ ඉන්න බල බලා
සන්ඩු මොටද සාවියේ දැන් රෑත් වෙලා

පිනි වැටිලා මල් පෙති මත සීතල නැද්ද
උනුසුම් ලය තුරුල් වෙන්න තව හිත නැද්ද
සියුමැලියේ කොපුලේ සුව තාමත් දුරද
සමන් මලී තාමත් නුඹ සිහින් නුවනින්ද

මේ සෑදෑව වෙන් වී ඇත අපෙ නමට
දුහුල් සේද මීදුම් පට ඇත සුවට
සමනොලියේ සිනිදු සේල තව මොකට
සංවර නොව සංකර වනු මේ රැයට


2010/07/27

පින්නේ පිපුණු මලක් වගෙයි



ආසයි හරි පරිස්සමට
ඔය දෙකොපුල් පිරිමදින්න
සියුමැලි කම වැඩිම හන්දා
ලෝබයි මම අත තියන්න


වල ගැහෙන්න සිනා සුනත්
සමනළ තටුවක් වාගෙයි
කදුළු බිංදු ගලා ගියත්
පින්නේ පිපුණු මලක් වගෙයි


‍සිහින් සුළං හමා ගියත්
කෙස්රොද මුහුනටම එබෙයි
මුව සිබ එක් ඇසිල්ලකින්
ආයෙම පවනට මුසුවෙයි






2010/07/12

මල් සරාට විවෘත ලියුමක්

මල්සරා මතං වෙත ලියමී.

බඩුම වේවා

සරා මතං උබේ සැප දුක් කෙසේද? සුපුරුද්දට ඇහුවට උඹෙන් නම් ඒක අහන්න දෙයක් නෙවී. මොකද උබනම් පැණි උගුඩුවා වගේ මල් වටකරගෙන පැණි හල හල ඉන්න බව අපි දන්නවා. ඒකට අපි දුක තමයි. අපිත් බලාගෙන ඉන්නවා උබ අද ලයින් එක දායි හෙට ලයින් එක දායි කියලා. තව කොච්චර කාලයක් බලාගෙන ඉන්නද මල් මතං. ඉදලා ඉදලා (ම්හ්...මුහ්...ඇඩෙනවා අයියෝ) බැරිම තැන තමයි උබට ලියුමක් වත් දාන්න ඕන කියලා හිතුනේ. එක තත්පරයක් අපි දිහා බලන්න බැරි තරං අපි කලුද මතං. අම්මපා දුක හිතෙනවා (ම්හ්...මුහ්...) මල් මතං. ඔය තරං කෘර වෙන්න එපා රත්තරං. මතං සොරි වෙන්න. අකුරු බොදවෙලා වගේ තියෙන්නේ පොල් කොල අස්සෙන් පිණි බිංදු වැටිලා එහෙම නෙවෙයි. කදුළු බිංදු වැටිලා. (ම්හ්...මුහ්...). ඉතිං රත්තරං.

කියන්න ගොඩක් දේවල් තිබුණත් කියා ගන්න බෑ දුකට. ඒක නෙවෙයි මතං උබ දැන් කොරන තරමක් කරන්නේ කැත වැඩ. ඇයි ඒ. උබ සෙට් කරන කපල්ස් මාසෙන් දෙකෙන් අප්සෙට් වෙනවා. එක්කෝ කොල්ලෙක් කොල්ලෙකුටම සෙට් කරනවා. නැතිනම් කෙල්ලෙක් කෙල්ලෙක්ටම සෙට් කරනවා. ඇයි මල් මතං කල කිරිලා වගේ වැඩ කරන්නේ? ඇයි හරියට කිරලා මැනලා වැඩේ කරන්නේ නැත්තේ? උබ ඕනවට එපාවටද දැන් වැඩ කරන්නේ? වෙලාවට පඩි ගෙවන්නේ නැද්ද? ඕටයිම් කප්පාදු කරනවද? කෝස්ට් කටිං කියලා කිරි තේ දෙන්නේ කිරි නැතිවද? ඒ උනාට රත්තරං මතං උඹ ඒවට සැලෙන්න එපා. උඹ සැලුනොත් කෙලවෙන්නේ අපිටනේ මල් වස්තුවේ . උඹ උඹේ ලොක්කත් එක්ක මලපැන්නට මල් වගේ අහිංසක අපේ හදවත් වලින් පලිගන්න එපා රත්තරං. අපි අහිංසකයි, අකලංකයි, පිවිතුරුයි, නිර්මලයි, නිර්ව්‍යාජයි, නිසංසලයි, නිස්සා......රනයි.

මල් මතං උඹ තාමත් ලැගගෙන ඉන්නේ සුජාතා අත්තනායක ආන්ටි සාදා දුන්න මාළිගාවෙමද? උඹ එයාටනම් මල් නෙලන්න අවස්ථාවක් අරන් දුන්නා. අපිට තමයි හුළං. ඒක නෙවෙයි මල් වස්තුවේ මල් සරාට ප්‍රේම ලෝකේ මාළිගා තනා ගන්න මමත් මල් 7තේ ප්ලෑන් එකක් ඇදලා දෙන්නම් මල් නෙලන්න අවස්ථාවක් මදට අත්කරලා දීපන් සුදා. ගයා ගී....ටිං ටිං ගයා ගී....

ගෙදරටම තිවුනේ එක ගිනිකූරයි එකෙන් පහන පත්තු කරගෙන තමයි මේක ලියුවේ දුක වාව ගන්නම බැරි තැන. එහෙනම් අදට නවතිමි. මල් මතංට සුබ රාත්‍රියක් වේවා. මතංට අපිව හීනෙන්වත් පෙනියන්.

උම්මා.....උම්මා.....(තැපැල් තොත්තුව)

2010/07/05

මල් සරාගේ ඒකාධිකාරි ආදර කඩ‍පොළ


මල් සරා දැන් තම රාජකාරි කටයුතුවලින් බැහැරවී පිස්සු කෙලින්න පටන්ගෙන තියෙන සෙයකි. අපිට ඕනා තැන්වලට ඔහු දැන් නොවිදී. ඔහු විදින්නේ ඔහුට ඕනා ඕනා තැන්වලටය. අපිට ඕනා තැනකට විදගන්න නැතිව සරාට ඕනෑ තැන්වලට විදපු ඒවා අපිට අහවල් එකකටදැයි මට අහන්න හිතෙයි. ඔහුගේ හිතු මානාපෙට විදපුවා ගේ රග කප්පරක් වු විරහ දුක් විදින්නන්ගෙන් අහන්න දකින්න ලැබේ. අපිට ඕනා තැනකට විදගන්න අවස්ථාවක් දුන්න නම් ආදරය මේතරම් කරුමයක් කර නොගෙන ෆන් එකේ ඉන්න තිබුණී.

මල් සරා පිස්සු කෙලින්නේ මල් සරාගේ පෝස්ට් එකට තරග කරන්න වෙන බුවෙක් නැති නිසා යැයි මට දහස් වාරයක් සිතෙයි. සරාගේ පෝස්ට් එකට තරගයක් දෙන්න තව බුවෙක් හිටියනම් අපිට මේ තරම් මල් සරාගේ රෙස්පට් බලන්න සිදු නොවේ. අඩුම ගානේ තව එකෙක් වත් සිටියනම් දෙමස්සිනාලා කොටවා අපිට ඕනා ඕනා තැන් වලට විදගන්න තිබුණි.

මල්සරාට ඇත්තේ ආදර ලොව ඒකාධිකාරයකි. ඒ ඒකාධිකාරය බිද ආදරය විවෘත කඩපොලක් සේ කල යුතු බවයි මට නම් දහස් වාරයක් සිතෙන්නේ. එවිට අපිට අවශ්‍ය කරන ආකාරයේ මල් සරෙක් අපේ වැඩේට චැනල් කරගත හැකිය. එවිට නානාවිද හැඩයන්ගෙන් යුත් මල් හී අපට අත්හදා බැලීය හැකිය. එක සරෙක්ගෙන් වැඩේ කර ගන්න බැරි වුනොත් තව මල් සරෙක් අත්හදා බැලීය හැකිය. තරගකාරී මල් සරුන්ගේ කඩපොළට විදේශ සුරභවනන්ගෙන් ආදර අධ්‍යාපනය ලද විශේෂඥ මල් සරුන්ද පැමිණෙනු ඇත. එවිට ඔවුන් නිකම්ම මූන බලා හී විදිනවා වෙනුවට ස්කෑන් එක්ස්රේ යූරින් අර ටෙස්ට් මේ ටෙස්ට් අරවා මේවා හැම ජල්බරයක්ම කර ඉතාම ආසන්නයටම තකට තක හරියන හීයකින් අපිට විදිනු ඇත.

මල් සරා ඒ ලෝකේ නොසිට මේ ලෝකේ සිටියනම් ජරාවක් හරි දීලා ඊතලයක් දෙකක් ඉල්ලා ගන්න තිබුණි. එවිට අපිට ඕනා කෙනෙකුට අපිටම දමලා අනින්න තිබුණි. ඒ අතින් මස් කඩ කාරයන් වාසනාවන්තය. PHI මහත්තයා ඒ ලෝකේ නොසිට මේ ලෝකේ සිටීම මස් කඩකාරයන්ට ඉතා අස්වැසිල්ලකි. මොකද බොහෝ PHI මහත්තුරු මස් කඩ කාරයන්ට තම සීල් එක බැගින් දෙනු ලබයි. ඒනිසා මස් කඩහිමියන්ට තම හිතගත් ඕනෑම උරෙක්ට තම හිතුමතේට PHI සීල් එක ගසා ගත හැකිය. ඒ වගේ මල්සරා PHI මහත්තයව ආදර්ශයට අරගෙන අපිටත් මල් හීය ගානෙවත් දෙනවනම් කොච්චර එකක්ද දෙයියනේ. බලාගෙන ගියහම ආදරයෙන් පැරදී දුක් විදින්නේ මස් කඩකාරයන් තරම් අපි පිං කර නැති නිසා විය හැකිය.

2010/06/30

මොන ජාතියෙන්ද ඕන

මාතෘකාව දැක්කම හිතුවද දන්නෑ අදත් වලියක් කියලා. එදා වලීය මම කියුවට වඩා ගොඩක් උණුසුම් මුහුණවරක් තිබුනත් වෙලාව ඉතුරු කර ගැනීමේ පහසුව තකා කෙටි කලා. ඒ නිසා වලියක උපරිම රසාස්වාදය ලැබෙන්න නැතිව ඇති. හොලිවුඩ් චිත්‍රපටි වල කාර් වලි දැකලා ඇතිනේ කට්ටිය. අන්න ඒ වගේ සීන් එකක් තමා එදා උනේ. අද මාතෘකාව වලියක් වගේ උනාට අද වලියක් නැහැ. අද ගීත්ගේ පිටරට කථා වලින් කියන්න යන්නේ මා ආශ්‍රය කරන විදේශිය ජාතීන් ගැන විස්තර ටිකක්.

අපේ ආයතනයේ මාත් සමග ශ්‍රී ලාංකිකයෝ 6 දෙනෙක් සිටින අතර ඔවුන් කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවේ වැඩ කරන සේවකයන් වන අතර මා අගනගරයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිසාවෙන් අපට හමුවන්නට කථා බහ කරන්නට අවස්ථාවක් අඩුය. ඔවුන් සිටිනුයේද වෙන නේවාසිකාගාරයකය. මගේ නේවාසිකාගාරයේද ලාංකිකයෙකුට සිටිනුයේ මා පමනක් වන හෙයින් මා තනි අලියෙක් වී සිටී. :D . මා කොහොමත් හුදකලාව ප්‍රිය කරන්නෙක් නිසා ලංකාවේ එවුන් නැහැ කියා පාඩුවක් පාළුවක් නැතිය.

මා සිටින නේවාසිකාගාරය තට්ටු 3ක පාසල් ගොඩනැගිල්ලක් මෙන් ගොඩනැගිල්ලක් වන අතර මෙහි ඉන්දියානු ජාතිකයන් සිරියානු ජාතිකයන් පිලිපීන ජාතිකයන් ඊජිප්තු ජාතිකයන් හා බංග්ලාදේශ් ජාතිකන් සිටී. ඔවුන් සියළුදෙනා අප ආයතනයේ සේවකයන්ය. මාද ඉන්දියානුවන් දෙදෙනාද හා ඊජිප්ත්තු ජාතිකයා අප ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ නිළධාරීන් වන අතර අනෙක් අය ෆැක්ටරි වල හා වැඩබිම් වල සේවය කරන්නන්ය.

අප ගොඩනැගිල්ලේ බංගලියන් 6 දෙනෙක් සිටින අතර මගේ කාමර සගයාද බංග්ලාදේශ් ජාතිකයෙකි. ඔහු මුස්ලිම් ආගමිකයෙකු වන අතර වසස 40ක පමන දෙදරු පියෙකි. අපි ඉතාම සුහදශීලි මිතුරන්ය. බංග්ලාදේශයේ 80%ක් පමණම ජනහනය මුස්ලිම් ජාතිකයන්ය. 10% පමණ හින්දු ජාතිකයන්ය. ඔවුන්ගේ භාෂාව බන්ගාලා ය. ඔවුන්ගේ අක්ෂර වින්‍යාසය හිංදි ලිඛිත අක්ෂර වින්‍යාසයට බොහෝ සෙයින් සමානය. හින්දි ලිපියක් හා බන්ගාලා ලිපියක් එම භාෂාවන් නොදත් අයෙකුට එකවර හදුනා ගනු නොහැකි තරමට පෙනුමින් එක සමානය ය. ඔවුනට ඉංග්‍රීසි කථා කල නොහැකි නිසාවෙන් අප අදහස් හුවමාරු කර ගනුයේ හිංදි හා ඉංග්‍රීසි මිශ්‍ර භාෂාවෙනි. ඔවුන්ගේ මවු භාෂාව හිංදි නොවුවත් ඔවුන් චතුරව හිංදි කථා කරනු ලබයි. මට හිංදි භාෂාව හොදටම කථා කල නොහැකි මුත් දැන් දැන් යමක් කමක් කරගැනීමේ හැකියාවක් තිබේ. ඔහුට ඉංග්‍රීසි කථා කල නොහැකි මුත් ඉංග්‍රීසියෙන් කියනා දේ වටහාගන්නා නිසාවෙන් ඔහු හිංදියෙන් කථාකරන අතර මා ඉංග්‍රීසියෙන් හා හිංදියෙන් කථා කර අපගේ අදහස් හුවමාරු කරගනිමු. මාත් දැන් චෝටා චෝටා හිංදි කථාකරන නිසාවෙන් තව මාස 3න 4කින් හිංදි වලින් ඇට්ටි හැලෙන්න දෙන්න බලාගෙන ඉන්නේ කට්ටියට. හිහ්....හිහ්.... :D

ඉන්දියානු ජාතිකයන් ගිණුම් ශිල්පීන් වන අතර ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවන්ය. කඩුව වනන්නේ නිකන් රොබින්හුඩ් එකේ නසීයර් වගේය. නමුත් ඔවුන් R අකුර යෙදෙන වචන කථාකරද්දී R අකුර වැඩිපුර උච්චාරනය කිරීමෙන් ඔවුන්ගේ භාෂාවේ කෘතීම බවක් තිබේ.

එක් ඉන්දියානුවෙක් කේරළ හිංදු ජාතිකයෙක් වන අතර ඔහුට මෙහි එන විට මා තරම්වත් හිංදි නොදත් බවකුයි ඔහු කියා සිටියේ. අප සිතා සිටිනුයේ ඉන්දියාව කිවුවොත් හිංදි කියාය. නමුත් එය වැරදිය. ඉන්දියාවේ භාෂා 300කට වැඩි ගනනක් ඇති නිසාවෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හා ජන කොට්ඨාශයෙන් කොට්ඨාශයට භාෂාවන් වෙනස්ය. ජාතික භාෂාවන්ම 18ක් ද කොහේදය. ඔහුගේ භාෂාව මලයාලම්ය. එය දෙමළ භාෂාවට ඉතාම සමීප භාෂාවකී. එමෙන්ම මලයාලම් අක්ෂර වින්‍යාසය සිංහල හා දෙමළ අක්ෂර වින්‍යාසයට බොහෝ සෙයින් සමාන කම් තිබේ. මා දවසක් ඔහුට කියා මගේ නම ඔහුගේ මලයාලම් භාෂාවෙන් ලියා ගත්තෙමි. මට පදුම හිතුනි. මගේ නම මලයාලම් භාෂාවෙන් ලියුවද සිංහල භාෂාවෙන් ලියුවද ඉතා කුඩා වෙනසකි. ඔහු භාෂා 5ක් කථාකරන්නෙකි. මෙහි එන විට ඔහු මලයාලම් , දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් දැන සිටියෙකි. මෙහි ආවට පසු හිංදි හා අරාබි භාෂාවන් කථා කිරීමට හුරුවී තිබේ. නමුත් හිංදි හා අරාබි ලියන්න කියන්න දන්නේ නැත. දෙමළ භාෂාව හා මළයාලම් භාෂාව ශබ්ධයෙන් සියයට සියයක්ම වාගේ එක සමානයය. ඔහු පවසන අකාරයට මලයාලම් භාෂාව කථා කරන බොහෝ දෙනෙකුට දෙමළ භාෂාවද කථා කල හැකි නමුත් දෙමළ කථා කරන්නන්ට මලයාලම් කථාකිරීමේ හැකියාවක් නැතිය. ඔයාට ඒක තේරෙන්ට නැතිව ඇති. මටත් තවම ඒ අන්ඩර දෙමළය තේරුනේ නැතිය. :D. තවත් කේරළයෙක් හම්බවුන දවසක ඒකේ ඇත්ත නැත්ත අහලා කියන්නම්කෝ. නමුත් මෙයාට දෙමළ පුළුවන් බව මා අත් දැකීමෙන් දනිමි. මා ඉදිරියේ ලාංකික දමිළයන් හා මොහු දෙමළ භාෂාවෙන් කථා කරනවා කිහිප විටක්ම මා දැක ඇත්තෙමි.

අනෙක් ඉන්දියානුවා නම් ඔරිජිනල් හිංදි කථාකරන්නෙකි. ඔහු උත්තරප්‍රදේෂ් ප්‍රාන්තයේ වන අතර මුස්ලිම් භක්තිකයෙකි. ඔහුට භාෂාවන් 6 ක් හෝ 7ක් දන්නා බවක් දිනක් මා හා පැවසූ අතර එහි සත්‍ය අසත්‍ය තහවුරු කර ගැනීමට අවස්ථාවක් නැත. නමුත් හිංදි, ඉංග්‍රීසි හා අරාබි භාෂා ත්‍රිත්වයම ලියන්න කියවන්න හා කථා කරන්න හැකි බව මා අත් දැකීමෙන් දනිමි. උර්දු භාෂාවද ඔහු කථා කරන අතර එය තහවුරු වූයේ පකිස්ථානුවන් සමග කථා කිරීමෙනි. පකිස්ථානුවන්ගේ ජාතික භාෂාව උර්දුය. උර්දු හා හින්දි භාෂාවේ ලොකු වෙනසක් නැති බව ඔවුන් මට කියා තිබේ. උර්දු හා හිංදි භාෂාවන් සමගාමී භාෂාවන්ය.

සිරියානුවන් ගේ මවු භාෂාව අරාබිය. ඔවුන් හිංදි හෝ ඉංග්‍රීසි කථා නොකරයි. ඔවුන්ට අනෙක් භාෂා ඉගෙනීමටද උවමනාවක් නැතිය. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගන්න ගියහම මට නම් ගොළු භාෂාවේ පිහිටය. :) . සිරියානුවන් බොහෝවිට ඉතාම ප්‍රියමනාප පෙනුමකින් යුත්තය. කඩවසම් පුද්ගලයන් කීවොත් නිවැරදිය. නමුත් එතමරම් අධ්‍යාපන මට්ටමක් නැති බවක් ඔවුන් ආශ්‍රය කිරීමෙන් තේරුම් ගත හැකිය. එමෙන්ම ඔවුන් වහා කිපෙන සුළුය. ෆැක්ටරි එකේ වලියක් නැති සතියක් නැතිය.

පිලිපීන ජාතිකයන් ඉංග්‍රීසි කථා කරන අතර ඔවුන්ගේ භාෂාව පිලිපිනොය. තගාලෝග් කියාද කියනු ලබයි. ඔවුන්ට ආවේනික භාෂාවක් තිබුනට ඔවුනටම ආවේනික අක්ෂර වින්‍යාසයක් නැතිය. ඔවුන් ලිවීම් කටයුතු සදහා භාවිතා කරනුයේ ඉංග්‍රීසි අක්ෂරයය. හිංදි කථාකරන පිලිපීනයන්ද සිටී. ඔවුන් ඔවුන්ගේ අය පමනක් අශ්‍රය කරන අතර අන් ජාතීන් සමග මුහු වීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැතිය. මම දැක්ක දෙයක් තමයි මෙහේ සිටින පිලිපීන ජාතිකයන් වැඩි ප්‍රමානයක් ගැහැනු පෙනුම් ආරූඩ කරගැනීමට උත්සහ කිරීම. ඒ කියන්නේ කොන්ඩේ දිගට වැවීම කන්පෙති දෙකටම කරාබු දැමීම හා මුදු කරාබු හා ෙලාකු ගල් අල්ලපු කරාබු දැමීම. නහයටත් කරාබුදැමීම. හරියට දෙමළ කාන්තාවන් වගේ. මම හිතන්නේ ඒ රටේ ගැහැනු පෙනුම තියෙන පිරිමින්ට හොද ඉල්ලුමක් ඇති. :D. අපේ නේවාසිකා ගාරයේ නම් ඉන්නේ එක පිලෙක් විතරයි. ඌනම් පොඩි එකෙක්. ඌ තවම කරාබු දාලා නැහැ. ආවෙත් ලගදී. හැබැයි පොඩි කියලා නැහැ දවසකට සිගරට් පැකට් එකකට වැඩියෙන් ඉවර කරනවා.

ඊජිප්තුකාරයා අප ආයතනයේ PRO ය. ඒ කියන්නේ public relation Officer. මා පෙර ලිපියේ සදහන් කලා ඔහු මානව සම්පත් කළමනාකරු කියලා නමුත් ඒක නිවරදිම නැත. ඔහුගේ තනතුර සිංහලෙන් කියනවනම් මහජන සම්බන්ධතා නිළධාරී වගේ එකක්. DHR කියන්නේ ඊට වඩා උසස් තනතුරක්. මෙහේ DHR වගේ තනතුරු නම් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. මම අහලා තියෙන තරමින් මෙහේ කාර්යාල වල HR වලට අදාල හැම වැඩක්ම භාරව ඉන්නේ PRO ය.



තව විස්තර පසුවට

2010/06/28

ත්‍රාසජනක අවස්ථාවක්

පිටරටකට ආවට පස්සෙ මුහුණ දුන්නු ත්‍රාසජනකම අවස්ථාවට ගිය සතියේ මුහුණ දිලා මුහුණේ කෑල්ලකුත් හලා ගන්න වුනා. මේකයි සීන් එක. එදා අපි ඔෆීස් එකෙන් යන කොට රෑ 9.30 යි. අපි ගියේ කැබ් එකක. කැබ් එක ඩ්‍රයිව් කලේ සිරියානු ජාතිකයෙක්. ඔහු අපේ කම්පැනියේ ෆෝමන් කෙනෙක්. තවත් සිරියානු ජාතික ෆෝමන් කෙනෙක් ඉදිරි අසුනේ. පිටුපස අසුනේ මමත් මගේ ඉන්දියානු මිතුරාත් ඊජිප්තු ජාතික මිතුරාත් ගමන් කලා. අප 5 දෙනා රටවල් 4ක සම වයස් කාරයන් ය. හැමදාම වාගේ වාහනේ කැසට් එකේ ශබ්ධය උපරිම දාගෙන කෑකෝගහගෙන ෆන් එකේ යන ගමන් අතර මගදී කාර් එකක් රේස් එකට වගේ ආවා. මෙහෙ පාරවල් එල කිරි හින්දා රේස් යනවා කියන්නේ ෆුල් ෆන්. අපේ එකත් නාහයට අහන්නැති එකෙක් මුත් පෑගුවා ලෑල්ලට. අපිත් කමෝන් කමෝන් කිය කිය සප් එක. එතකොටම අර කාර් එක අපේ කැබ් එකට ඉස්සරහින් දාලා ලාවට බ්රේක් පාරක් ගැහුවා. එතකොට තමයි ෆන් එක දෙල් උනේ. රේස් එක කෙසේ වෙතත් ඉස්සරහ හිටිය සිරියානු ජාතිකයන් දෙන්නට නහුතෙට මල පැන්නා ඒ වැඩේට. සිරියානු ජාතිකයන් වහා කිපෙන සුළු පිරිසකි. ඉන්පසු ෆන් එක පැත්තක තියලා අර කාර් එක ෆලෝ කලා. අපි කට කැඩෙන කම් කීවත් වැඩේ අත් හැරලා දාමු කියලා සිරියානුවන් වැඩේ අත් හැරියේ නැහැ. කෝම හරි ෆලො කරලා දැන් වාහන දෙක කරට කර යනවා. වේගය පැයට 120ටත් වැඩී. අනිත් පැත්තේ හිටිය සිරියානුවා ඔහුගේ අතේ තිබුන පෙප්සී කෑන් එකෙන් අර කාර් එකට දමලා ගැහුවා. ඒ කාර් එකේ හිටියේ බංග්ලාදේශ් ජාතිකයන් දෙන්නේක්. ඉන්පසු ඔවුන් දෙදෙනා වැඩේ වල් වුන බව දැන ගැනීමෙන් රේස් එකෙන් ඉවත්ව කාරයේ වේගය අඩාල කරා. ඉන් පසු අප වාහනය ටික දුරක් ගොස් පාර මැද නතර කර සිරියානු ජාතිකයන් දෙන්නා පාරට පැන අර කාරය නවත්ව ගන්න උත්සහ කලා. පිටුපස හිටපු අපි 3දෙනාට හිතා ගන්නවත් වෙලාවක් නැහැ. අනික පිටුපස දොරවල් වල දෝශයක් හේතුවෙන් දොරවල් ඇරගැනීමට ටිකක් වෙහෙසෙන්න ඕන. ඒ ක්ෂනයකින් අර කාරය මොවුන් දෙදෙනාගේ ඇගේ වැදී නොවදින ගානට වෙට්ටුවක් දාලා හුම් ගාලා කන ගාවින් ගියා. ඉන් පසු මලේ උපරිමයට ආව සිරියානුවන් දෙන්නා නැවතත් කැබ් එකට නැග උපරිමයට පාගලා අර කාර එක ෆලෝ කලා. මට දැන් හිතා ගන්න බැහැ ඊළග මොහොතේ කුමක් සිදු වෙයිද කියා. කිසිවෙක් කථා නැහැ. මම හිතා ගත්තා අදනම් පොලීසියෙන් හෝ රෝහලින් මෙහා මේ වැඩේ නවතින එකක් නැහැ කියලා. ඕන දේකට රෙඩි කියලා මගේ අරවා මේවා සේරම ගැජට් බැජට් ටික හකුලලා බෑග් එකට දාලා ගේමට එන්ටර් උනා. ඉන්පසු ප්‍රධාන පාරින් අතුරැ පාරකට බංගලියන්ගේ කාරය දැම්මා. ඉන්පසු අපිත් අපේ වාහනය එය පස්සෙන් ගොස් ඉස්සර කරලා නවත්වපු ක්ෂනයකින් සිරියානුවන් දෙන්නා පැන අර කාරයේ හිටිය බංගලි ජාතිකයන් දෙන්නව ඇදලා ඇරගෙන නෙලන්න ගත්තා. අපේ වාහනයේ පිටුපස දොරවල් දෝෂ සහිත නිසා මමත් ඊජිප්තු ජාතිකයත් ජනෙල වලින් එලියට පැන්න අතර ඉන්දියානු ජාතිකයා ඉදිරිපස දොරෙන් එලියට ආවා. මටත් දෙක තුනක් අනින්න හිතක් ආවත් අරුන් දෙදෙනෙක් අපි 5 දෙනෙක් නිසාත් එක්කෙනෙක්ගේ මුහුනෙන් ලේ ගලනවා දුටු නිසාවෙන් ගහන්න ආව හිත අහක් කර ගනිමින් සිරියානු ජාතිකයව මම පැත්තකට අදින්න උත්සහ ගනිද්දී මගේ අතේ තිබුන බීම කෑන් එක මගේ තොලේ වැදීමෙන් උඩු තොල පුපුරා ගියේය. අපි 3න් දෙනා කොච්චර උත්සහ ගත්තත් විනාඩි 5ක් හෝ ඊට වැඩි වන පමන වන තුරුත් ධ්වන්ද සටන නවතා ගැනීමට නොහැකි විය. සමහරෙක්ගේ ඇදුමවල කෑලී නැත. ඇදුම් ලේ වලින් හා දාදියෙන් තෙත් වෙලාය. මගේ ෂර්ට් එකේ බොත්තම් දෙකක් නැති බවද ලේ පැල්ලම්ද දුටුවේ කාමරයටත් ආ පසුවය. ඉන්පසු මගී ප්‍රවාහන බස් රථයක් පැමින නතර කර එහි සිටි සෙනග සටන සමතයකට පත් කල අතර ගුටි කෑ බංග්ලාදේශ් ජාතිකයන් දෙන්නා ගෙන් කෙනෙක් පොලීසියට කෝල් කල නිසාවෙන් වැඩේ තවත් දුර ගියේය. ඉන් පසු පැය බාගයකට පමන පසු මියෑව් මියෑව් ගා පැමිණි පොලිස් කාරයෙන් හුරුබුහුටි පොලිස් තරුනයන් දෙදෙනෙක් පැමින සියල්ලමට අතට අතදී ඉතා සංයමයෙන් නඩුව විභාග කලේය. ලංකාවේ නම් වටේ සිටින වුන්ටත් කනේ පාර බැගින් දීලා ඇදලා ජීප් එකට දාගන්න එකනේ කරන්නේ. සියළු කරුණු කාරනා විභාග වුනේ අරාබී භාෂාවෙනි. බංග්ලාදේශ් ජාතිකයන්ද ඉතා චතුරව අරාබි භාශාව හැසිරුව අතර සිරියානු ජාතිකයන්ගේ මවු භාෂාවද අරාබි නිසාවෙන් මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැත. ඉන් පසු පතාකා (හැදුනුම්පත්) චෙක් කල පොලීසිය මටත් ඉන්දියානු ජාතිකයත් ඊජිප්තු ජාතිකයත් නිදහස් කල අතර අනිත් 4 දෙනාට පොලිස් කැබ් එකට නගින ලෙස අන කලේය. අපිව නිදහස් කලේ බංග්ලාදේශ් ජාතිකයන්ගේ කට උත්තරෙන් අපිට චෝදනා එල්ල නොකල නිසාවෙනි. ඉන්පසු සිරියානු ජාතිකයා අපි 3 දෙනා අපාර්ට්මන්ට් එකට ඇරලලා එන්නට පොලීසියෙන් අවසර ගත් හෙයින් ඔහුගේ හුදුණුම්පත පොලිසියේ භාරයේ තබා අපි එතනින් පිටත් විමු. ඉන්පසු මමත් ඉන්දියානු ජාතිකයත් වාසස්ථානයට ආව අතර සිරියානු ජාතිකයන් දෙදෙනාත් ඊජිප්තු ජාතිකයත් නැවත පොලීයට ගියේය. ඊජිප්තුජාතිකයා එහි ගියේ ඔහු අප ආයතනයේ මානව සම්පත් කලමනාකරු නිසාවෙන් අවැසි දේවල් කලමනාකරනය කිරීමටය. ඉන්පසු සිරියානුවන් දෙදෙනාත් බංගාලීයන් දෙදෙනාත් පැය 20ක් හිර භාරයේ සිටීමට සිදුවී ඇති අතර දඩ මුදල්ද ගෙවා එලියට ඒමට සිදුවී තිබේ.

2010/06/21

සගවනු බෑ සිතිවිලි ගග පියාන දෙනෙත
















සරතැස නිවා සදරැස පැමිණෙන රෑට
සතැපුමකට වඩා දුර සිටියත් සොදුර
හිස පිරිමැද සිප නලලත නිබද
සතැපෙමි සයනයෙහි නුඹ තුරුලේහි සිතා මම


සන්සුන් ස්වරයෙන් මා සනසන අයුර
සාධු නාද සේ සවනේ සරන කොට
සත් සමුදුරු සත් ගගුලෙන් එතෙර
සිටියත් සොයමි සිසිලස නුඹ තුරුලේ මම


සමන් පිච්ච සුගන්ධියේ නුඹෙ සුවද
සියුම්ව විත් කිති කවනවා සියොලගම
සගවනු බෑ සිතිවිලි ගග පියාන දෙනෙත
සායම් නැති සල රූ වේ දෙනෙතට එවිට

2010/06/16

ශිතකරනයක් තුල ජීවිතය

විරහා වට එරෙහිව නැගී සිටීමේ ප්‍රථම පියවර වශයෙන් විරහා ගීත ලියන එක තාවකාලිකව අත්හිටු වා මිල්ටන් මල්වආරච්චි මහත්මයාගේ ගිත වලට ඩාන්ස් කිරීමට රවා හා මා පෙර පෝස්ට් එකෙන් කතිකා කර ගත් හෙයින් ඩාන්ස් කිරීමට අමතරව ඔන්න අද ඉදන් ගීත් ගේ පිටරට කථා. ටන්ටර..ටං...ටං...ටන්ටර...ටං...ටං...ටා........

අද මෙහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 යි. මේ උෂ්ණ ඝෘතුව ගමන් කරමින් තිබෙන්නේ. අවු කන්නාඩි යුගලක් නැතිව එලි පහලියකට යනවා කියන්නේ වැඩක් නැහැ ඒ ගැන කථා කරලා. ඇස් පිච්චෙන ගානයි. මෙහේ ජීවිත් වෙන මිනිස්සු කම් කරුවන් හා ගොඩනැගලි වලින් පිට වැඩ කරන මිනිස්සු හැර අන් හැමෝම ජීවත් වනුයේ පැය 24 ම වාෙග් වායූ සමීකරණය කල කාමර තුලය. වාහනයයෙන් ගොඩනැගිල්ලටත් ගොඩනැගිල්ලේන් වාහනයටත් ඇරුනහම දවසේ පැය 24 න් පැය 23 හමාරක් විතරම AC තුළය. ඒ නිස යි ශිතරකරණයක් තුල ජීවිතය කියා මාතෘකා කලේ. සාමාන්‍යෙයන් මෙහේ ඇති සෑම බිත්ති හතරකටම එක් AC යන්ත්‍රයක් බැගින් තියෙනවා කීවොත් ඒකේ ඇති වැරැද්දක් නැත‍. ඒ තරමටම මේ රටට හා මේ රටවල් වලට AC යන්ත්‍ර අත්‍යවශ්‍යයය. මෙම උෂ්ණ කාලය අවසන් වනුයේ ඔක්තෝම්බර් මාසයෙන් පසුව බව මට වඩා මෙම ජීවිතයේ පළපුරුද්ද ඇති ඉන්දියානු මිතුරා පවසන අතර ඉන් පසුව මාස 3ක් උපරිම 4 ක් සීත කාලය ය. මේ දවස් වල එලීයේ තියෙන යකඩ බටයක් එහෙම අල්ලනවා කියන්නේ පදමට රත් වෙච්ච රොටී තැටියකට අත තිබිබා ගානය. ටැප් වලින් වතුර එන්නේ කේතලයේ නටන ගානට වඩා ටිකක් අඩු රත් වුන වතුරය. නාන්න තියෙන්නේත් ඒ වතුරය.

රෑ 12 හා 1ටවත් සාමාන්‍ය වතුර ටිකක් නා ගත නොහැකිය. මගේ නේවාසිකාගරයේ සිටින මිතුරන් කරනුෙය් ලොකු බකට් වලට වතුර පුරවා කාමරයේ තබා ගැනීමය. AC නිසා එම වතුර සීත වන හෙයින් අවැසි වෙලාවට එම වතුර බකට් එකෙන් ඇග අතපය සොදා ගනී. නැතිනම් එම වතුර හා ටැප් වතුර මිශ්‍ර කර ජල අවැසිතා ඉටු කර ගනු ලබයි. තවද මෙගා බෝතල් වලට වතුර පුරවා ගැඹූරු ශීතකරණයේ ගල් වෙන්නට තබා ස්නානය කරන වෙලාවට විනාඩි 5කට 10කට පමන පෙර එම බෝතලය අර වතුර බාජනයේ ගිල්වා තබා එම වතුර ප්‍රයෝජනයට ගනු ලබයි. මමද බොහෝම උෂ්ණ ඇති විට පමනක් නේවාසිකාගාරයේදි මෙම ක්‍රමය ප්‍රයෝජනයට ගන්නා අතර නමුත් ඕන මරදානක් කියලා කෙලින්ම උනු උනුවේ සවර් එකෙන් නාලා AC එක ලගට වෙලා ඉන්නේ ඉහත ක්‍රමය පිලිෙයල කර ගැනීමට අැති කම්මැලි කමත් එම වතුර මට ප්‍රමානවත් නැති නිසාත්ය. එහි අතුරු ප්‍රථිපලයක් ෙලසින් මගේ ඉතුරු කෙස් ගස් ටිකත් ගැලවී යමින් තිබේන අතර ගිය කෙස් ගහට නාඩන්නේ තියෙන කෙස් ගහ රැක ගන්නේ කියලා ජෝන් සීනත් කියලා තියෙන නිසා ඉතුරු කෙස් ගස් ටික රැක ගැනීමට මා දැනට පාරම්පරික ඉන්දියානු කේෂලාවන්‍ය උපදෙස් ලබා ගනිමින් සිටිමි.

මා මෙහි ආවේ සීත කාලයේ බැවින් සීත කාලය පිළිබදව දැන් මට අත් දැකීමක් ඇත. මෙහි සීත කාලය නුවරඑලීයේ උපරිම සීත කාලය ට විතර සමාන වන අතර සමහර දවස් වලට ඊටත් වඩා වැඩි විය හැකිය. සාමාන්‍යෙයන් අඩි 4ක 5ක වපසරියක් නොපෙනෙන තරමට ඝන මීදුමද සමහරක් දිනයන් හී ඇතිවේ. සීත කාලය පිළිබදව සීත කාලයේදිම කථා කරමුකෝ ඉස්සරහට.

2010/06/15

විරහ වේදනාවට එරෙහි මාගේ ප්‍රථිපත්ති ප්‍රකාශය

හැමදාම විරහ ගීතම ලියලා දැන් මටම මගේ ගීත රචනය එපා වෙලා. වැඩේ කියන්නේ ලියවෙන්නෙත් විරහ ගී විතරමනේ. මොන විදිහක ගීතයක් ලියන්න පටන් ගත්තත් අන්තිමට ලියලා ඉවරවෙනකොට ඒක විරහා ගී යක් වෙලා. බැති ගීයක් ලියන්න පටන් ගත්තත් අවසන් වෙන්නේ මිය ගිය සෙනෙහසින්. ඇයි දෙයියනේ මාර කරුමයක් නේ මේක. බ්ලොග් එකකට ඔළුව දාන්න බැහැ විරහව දෝරගලනවා. පත්තරයක කවි පිටුව තනිකර විරහ කදුළු කැට. කම්මැලිවට සිංදුවක් අහන්න බැහැ බීට් එකට අඩනවා. විරහ වේදනාවෙන් දුක් වින්ද හොදොටෝම ඇති. අපි විරහවට එරෙහිව නැගී සිටි යුතුය. විරහවට එරෙහි මහා ජන මතයක් ඇති කළ යතුය. කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා විරහවට එරෙහිව දැවැන්ත උද්ගෝෂන ව්‍යාපාරයක් සංවිධානය කල යතුය. බූට් තියන කොල්ලන්ට හා විශේෂයෙන් කෙල්ලන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වන සාධාරන විරහා නීති රෙගුලාසී පද්ධතියක් ඇති කල යුතුය. විරහව කියන්නේ අධිරජ්‍යවාධී කුමන්ත්‍රනයක අදෘශ්‍යමාන හස්තයක් වෙන්නත් බැරි නැති නිසා මෙම විරහ චන්ඩ රළ පහරට එහිව රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් ලබා ගත යුතුය. වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු අනපතක් මගින් විරහ ගිණි නිවීමේ හමුදා ඒකකයක් ඇති කල යුතුය. විරහව ඇති වීම අවම කිරීම හා පාලනය කිරීම වස් විරහා වේදනා අතුරුපාලක කමිටුවක් පත් කල යුතුය. එම අතුරු පාලක කමිටුවේ උසස් තනතුරු සදහා විරහව ගැන මනා පරිපූර්ණ දැනුමක් ඇති මුතුකුමාරන හා කිංස්ලි වැනි ගායකයන් නිතරගයෙන් තෝරා පත් කල යුතුය. තවද අවසන් වශයෙන් විරහ වේදනාවෙන් දුක් විදින තරුණ තරුණියන් පුනරුත්තාපය කිරීම සදහා පුනරුත්තාපන කදවුරු ඇති කල යුතුය. එමගින් විරහවෙන් නොහඩන ෙප්‍රමනීය තාරුන්‍යයක් හෙට අපට උදා වනු ඇත.