2009/10/20

උපතින්ම දෙසවන් නෑසෙන්නන් කල්පනා කරනුයේ කෙසේද?

     අපට අදහස් ප්‍රකාශ කිරීමටද අදහස් හුවමාරු කරගැනීමටද අදහස් ගොඩනැංවීමටද ක්‍රම 3ක් ඇතැයි මම අනුමාන කරමි. ඒ නම්


1. ශබ්දානුකූල භාෂා මාධ්‍ය ය
2. චලන හෝ නිශ්චල රූප මාධ්‍ය ය
3. හස්ත හෝ ශරීරාංග චලන මාධ්‍ය ය


     අදහස් ප්‍රකාශ කිරීමටද අදහස් හුවමාරු කරගැනීමට අපට ඉහත දැක්වු තුන් ආකාරයම උපකාර කර ගැනීමට හැකි වුවත් අප යම් සිතිවිල්ලක් ජනිත කරවීම උදෙසා මින් උපකාර කර ගනුයේ කිනම් ආකාරයද? මාගේ අදහස හැටියට නම් සාමාන්‍ය මිනිසුන් සාමාන්‍යයෙන් හිතනුයේ තම මවු භාෂාවෙන්ය. එවිට යම් ස්ථානයක්, වස්තුවක් හෝ සිදුවීමක් මතක් කර ගැනීමටත් උපකල්පනය කර ගැනීමටත් රූප මාධ්‍යය හෝ ශරීරාංග චලන මාධ්‍යය උපකාර කර ගත හැකිය. එය එසේ නම් උපතින්ම දෙසවන් නෑසෙන්නෙකු සිතනුයේ කුමනාකාරයටද? මක් නිසාද යත් ඔහුට කිසිදු ශබ්දයක් නෑසෙන හෙයින් ඔහුට ශබ්දමය භාෂාවක් නැති නිසාය. නමුත් ශරීරාංග චලනය මගින් ඔහුටද අන් අය සමග අදහස් ප්‍රකාශ කර ගැනීමට හැකියාව ඇත. එසේ නම් ඔහු සිතිවිලි ජනිත කරනුයේද ශරීරාංග චලන මාධ්‍ය ය කින්ද? එසේ යයි අනුමාන කරන්නේ නම් ස්ථාන නාම පද (උදා-මහනුවර, ඇමසන් වනාන්තරය) වැනි දෑ ඔහු සිතනුයේ කුමන ආකාරයටද?


     සාමාන්‍යෙෙයන් අප ඇද උඩට වී කල්පනා කරනුයේ මවු භාෂාවෙන් නම් උපතින්ම දෙසවන් නෑසෙන්නෙකු කල්පනා කරනුයේ ද සිතනුයේ ද සිතිවිලි ජනිත කරනුයේ ද කුමන ආකාරයකටද? මට ප්‍රශ්නයක් වු මෙය ඔබටද ඇති වු ප්‍රශ්නයක් විය හැකිවාක් මෙන්ම මේ සදහා තාර්කික උත්තරයක් නැත්තවුන් සමහරෙක් මෙය මෝඩ ප්‍රශ්නයක් යැයි සිතා ඉවතලනු ඇත. ඉන් ඵලක් නැත. තර්කා‍නුකූල සෙ අදහස් ප්‍රකාශ කල හැක්කන් ඔබගේ වටිනා තර්කයන් ඉදිරිපත් කරන ලෙසත් මේ සම්බන්ධව විද්‍යාත්මක උත්තරයක් ඔබ දන්නවානම් හා ඒ සදහා මිඩංගු කිරීමට කාලයක් ඔබ සතු නම් මා හට එය පහදා දීමට කාරුණික වන ලෙසත් ඉල්ලා සිටිමි.

15 comments:

  1. අපි කල්පනා කරන්නේ මවු බසින් වගේ හිතෙනව තමයි. ඒ අපේ හිත උපතේ ඉඳන්ම පුරුදු වුණ හැටි කියල තමයි මට නම් හිතෙන්නේ. ඇත්ත තේරෙනතෙක් ඉන්ද්‍රිය පහම වැඩ නොකළත් හිත නොනැවතීම වෙනස් වෙනවා,ඒ වෙනස් වීමට අපි "කල්පනා කිරීම" කියලා සම්මුතියක් හදාගෙන ඇති බව තමයි මගේ අදහස.

    ReplyDelete
  2. ඔවු අකිල නමුත් සාමාන්‍යෙෙයන් අප කල්පනා කරනුයේ මවු භාෂාවෙන් නම් උපතින්ම දෙසවන් නෑසෙන්නෙකු කල්පනා කරනුයේ කුමන ආකාරයකටද?

    ReplyDelete
  3. ඔබ විසින් අසා ඇති පැනය බෙහවින් වටිනා, නමුත් තරමක් ගැබුරු පැනයකි. එයට පිලිතුර දැන ගැනීමට නම් උපතින්ම ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු සමග මදකලක් ඔහුව ඔබ විසින්ම අධ්‍යයනය කල යුතුය. ඔබට එය කල නොහැකිම නම් ඒ බව දන්වන්න. ඉන් පසුව මා ඔබට පිලිතුර දෙමි. මක් නිසාද යත්, ඒ තුලින් ඔබ විසින්ම ලබන්නාවූ දැක්ම හා අවබෝධය මා පහදා දෙනවාට වඩා වඩාත් උචිත බැවිනි.
    ශ්‍රව්‍යාබාධිතයෙක්.

    ReplyDelete
  4. mamath kamathi me gana danaganna. kawuru hari danna kenek me gana kiyanawada?

    ReplyDelete
  5. ගිත්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් කසුන් කියපු විදිහට දැනගන්න පුළුවන් වේවි
    කසුන් ඒකට පිළිතුරක් දෙන එක බොහොම වටිනවා

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකුගේ මවුභාෂාව සංඥා භාෂාවයි. එය තනිකරම දෘෂ්‍ය මාධ්‍යය හා බැදී පවතින්නකි. එහිදි සියල්ල සිතනුයේ රෑපමය හා සංකේතමය සිතුවිලි සමූහයක් එකිනෙක හා සම්බන්ධකර ගනිමින් ගොඩ නගා ගත් ඔවූන්ටම ආවේනික භාෂාවකි. එය සාමාන්‍ය පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා සම්පූර්නයෙන්ම වෙනස් වූ හා ඔවූන්ට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ ක්‍රියාදාමයකි.
    උදාහරණයක් ලෙස මහනුවර යනුවෙන් ගත් විට ඔවුන් සිතනුයේ වචනය අනූව නොව ඒ හා බැදී පවතින රූපය අනූවය. එනම් එනම් බුදුවහන්සේගේ දන්තධාතුව තැන්පත් කර ඇති මන්දිරය පිහිටි තැන, පුරාණයේ සිට දලදා පෙරහැර පැවැත්වෙන ප්‍රදේශය ආදී වශයෙනි. ඇමසන් වනාන්තරය ගත්තද එසේමය. එහි පිහිටීම හා රට අනූව දල චිත්‍රයක් මවා ගනී. බියකරු දැවැන්ත සර්පයින්(Aනචොන්ඩ)ගැවසෙන ප්‍රදේශයක්, ලෝකයේ විශාලතම වනාන්තරය ආදි වශයෙන් රූපමය සංකේත වශයෙන් දිගටම බැදී ගිය විත්‍රයකිනි. එසේ මවාගන්නා දල චිත්‍රය සංඥා භාෂාව හරහා අනෙකාට සන්නිවේදනය කිරීම සිදුකරයි.
    මෙහිදී ලිඛිතමය භාෂාවට වඩා රූපමය භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙයි. ඒ අනූවම තම චින්තනය ඉදිරියට ගෙන යයි.
    බොහෝවිටම ඔවුන්ගේ මොලයේ දකුණු පැත්ත අධික්‍රියාකාරීව පවතින අතර රූපමය මාධ්‍යය හරහා එහි දත්ත තැන්පත් කරගන්නා ආකාරය හා සිතිවිලි හුවමාරු කරගන්නා ආකාරය විස්මයජනක මෙන්ම විටෙක ඉතා සරල හා ඔවූන්ටම ආවේනික සූන්දර ලෝකයකි.
    ලංකාව තුල තවමත් ප්‍රාථමික මට්ටමක හා සාමාන්‍ය මිනිසූන් විසින් අවඥාවට හා පහත්ලෙස දැකීමට හුරුව ඇති මෙය, ජපානය, ස්වීඩනය ආදී රටවල මෙය ඇදහිය නොහැකිලෙස ඉතාදියුණු තලයක පවති.
    ඉදිරියේදී මා විසින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන කුලුදුල් බ්ලොග් සටහනතුලින් (සහජයෙන් ‍රැගෙන ආ ලිවිමේ කැම්මලිම්කම හේතුකොටගෙන මෙය පටන්ගන්නා දිනය,දිනෙන් දින කල්යන අයුරු මටවත් සිතා ගත නොහැක) මේ ගැන තවදුරටත් පැහැදිලි කරදීමට බලාපොරොත්තුවෙමි.

    ReplyDelete
  8. To Geeth

    ඔබෙ ප්‍රස්නය ඉතාම තර්කානුකූලය... එහෙත් සමහර දේ විස්තර කෙරීමට බසෙහි සප්‍රමානික බව ඉතාමත්ම බලපායි... වෙසෙසින්ම මනස හා සබැඳි දේ විස්තර කරන විට...
    ඔබේ පැනයට පිලිතුරු පටිච්ච සමුප්පදයේ ඉතා පැහදිලිව විස්තර කර ඇත... එය සියලු සංවේදන හරහා ඔබේ ලොව ගොඩනැගෙන අයුරු මැනවින් පැහැදිලි කරයි... ඒ හා සමාන විස්තරයක් නලින් ද සිල්වා මහැදුරු තුමාගේ "මගේ ලෝකය"පොතේත් හොඳින් දක්වා ඇත... ඉහත දෑ ඉවසිල්ලෙන් පරිහරණය කලොත් ඔබේ දැනුම වැඩේවි...

    ReplyDelete
  9. බොහොම ස්තුති හැමෝටම විශේෂයෙන් ම කසුන්ටත්. මා දන්නා එවැනි සහෘදයෙක් මා හට නැතිහෙයින් ඔබේ අදහස් ඉතා අගනේය. ඔබ සැබෑ ශ්රසව්යාතබාදිතයෙක් දැයි මා දන්නේ නැහැ නමුත් ඔබගේ පිළිතුරෙන් ඔබ මේ පිලිබදව කරුනු කාරනා දන්න පුද්ගලයකු බව සැලැයි. ඒ වගේම ඔබේ පිලිතුරෙන් සැහීමකට පත්වෙන්නත් බැරිකමක් නැහැ. නමුත් ඔබ කියනා ආකාරයකට රූපාවලීයක් මගින් ඔවුන් කල්පනා කරන්නේ නම් හදිසියේ ගන්නා විශාල තීරණයක් නැතිනම් ක්ෂණිකව විශාල තීරනයක් ලබා ගැනීමේදි ක්ෂනයකින් එවැනි රූපාවලීයක් ගැටගසා ගත හැකිද? එය අධිවේගි ක්රිමයාදාම විත්රවපටයක අදිවේගී දර්ශනයක් වගේ ද?

    ඒ වගේම ඔබ බලාපොරොත්තු වන BLOG ය කඩිනමින් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින අතර ඒ පිලිබදව නොයිවසිල්ලෙන් පසු වෙන බවත් දන්වා සිටිනු කැමැත්කමි.

    ReplyDelete
  10. ගීත්ගේ ප්‍රශ්නයට කසුන් වගෙ කෙනෙක්ගෙන් සාදාරන උත්තරයක් ලබුන් එක ගන මට හරි සතුටුයි.ඒවගේම කසුන්ගේ හකියාව ගැන මම ඔහුට සුබ පතනවා.

    ReplyDelete
  11. මේ සදහා පිලිතුරක් දීමේදී ඔබට ඔබවම උදාහරනයකට ගත හැකිය. ඔබ කුඩා කාලයේ සිටම පියවරෙන් පියවර ඇසීම ලිවීම කියවීම හරහා ගොඩ නගාගත් වචන හා සංකල්ප හරහා මේ දක්වා ඔබගේ මොලය තුල පිහිටි නියුරෝන ජාලය හරහා යම් තීරණයක් ගන්නේ යම් සේද එය සිදුවනේ කෙසේදැයි ඔබම අධ්‍යනය කරන්න. එය රූපමය මාධ්‍යට වඩා ලිඛිතමය මාධ්‍යට බර වැඩි බව බව උපකල්පනය කල හැක්කේ ඔබගේ දෙසවන් ලෝකය හා සම්බන්ධීකරනය කරනා බැවිනි. එලෙසින්ම උපතින්ම බිහිරි පුද්ගලයෙකු රූපමය මාධ්‍යය හරහා කුඩා කල සිටම මේ ලෙසින් මොලය හැඩගස්වාගෙන ඇති විටෙකැ ඔවූන්ට ක්ෂණිකව විශාල තීරනයක් ලබා ගැනීමේදි ක්ෂනයකින් එවැනි රූපාවලීයක් ගැටගසා ගැනීම අසීරු කාරණයක් නොවන බැව් සිහිපත් කල යුතුය. කෙසේ වූවද සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව මෙවැනි තීරණයක් ගැනීමේදී තරමක වැඩිකාලයක් ගන්නා අතර, විටෙක එවැනි තීරනයක් ගැනීමට අපොහොසත් වූවහොත් ඔවුන් ක්ෂණික කෝපයට පත්වීමකට පත් වන අයුරු දක්නට ලැබේ. (ගොලුවන්ට ඉක්මනට තරහා යනවා යැයි සාමාන්‍ය ජනතාව අතර මතයක් ඇතිවී ඇත්තේ මේ නිසාවෙනි) කෙසේ නමුදු මේ ගැන විමසුම් ඇසින් බැලු කල්හි එය ඔවුන්ගේ ස්වහාවය වන අතර මෙවැනි අවස්ථාවලදී ඔවූන් අපවාදයට ලක් නොකර මධ්‍යස්ථව බැලීම වඩා උචිත යැයි මම සිතමි.
    ප.ලි. ගීත්, සෙනරත් ඇතුලු සියල්ල වෙත. ඔබගේ විමැසුම් ඇස මා විසින් ලබා දුන් ප්‍රතිචාරය වෙත අවධානය කිරීම හා එය මදකින් හෝ අවබෝධකොට දීමට හැකිවීම ගැන සන්‍තෝෂ වන අතර, ගීත් මා වෙතින් අසා ඇති පරිදි, වෙද්‍යවාර්තා අනූව මා උග්‍ර ගණයේ (88dB, 97dB)ශ්‍රව්‍යාබාධිතයෙක් යැයි තහවරු කර ඇති අතර කෙසේ වූවද ඔබගේ තර්කානුකූල මනස අන් අය කල්පනා කරන අයුරු සිතන අයුරු ගැන විමසීමට වඩා ඔබගේම සිතුවිලි කෙරෙහි අවධානයෙන් සිටිමින් එම සිතුවිලි තේරුම් ගැනීමට මනස මෙහෙයවූවහොත් සත්‍යය කරා ලගා වීමට ඇති සම්භාවිතවය අනිවාර්යෙන්ම ඉහල යනු නියතය.

    ReplyDelete
  12. ඔව් කසුන් ඔබේ පිළිතුරින් මගේ මනසේ ගොඩ නැගුනු කුතුහලය සුවපත් වුනා. ඔබගේ පිලිතුරින් මට සැහීමකට පත්විය හැක්කේ ඔබ කිවු ආකාරයට ගොලු අයට විගහින් කෝප ගැන්වෙන බැවු මාද අත්විද ඇතිවාක් මෙන්ම එවැනි තොරතුරු රාශියක් අසා ද ඇති නිසාය. ඔබගේ පිලිතුර බුද්ධිමත් මෙන්ම තර්කානුකුලය. ස්තුති ඔබට ඒ සම්බන්ධව. මාගෙ කුතුහලය සදහා සුදුසුම පුද්ගලයකු වෙතින් මා හට පිලිතුරක් ලැබේවි යැයි ම මොහොතකුදු නොසිතුවෙමි. නමුත් මා ඒ තරම් භාග්‍ය සම්පන්න වී ඇත.

    ඒ වගේම කසුන් ඔබ මට යම් අකාරයක දෝශාරෝපනාකාරයට ඔබගේ පිලිතුර අවසන් කිරිම ගැන පසු තැවෙමි. මම ඔබෙන් කිසිම තැනකදි ඔබේ ශ්‍රව්‍යාබාදි තත්වය ප්‍රත්‍යක්ෂ කරන ලෙස ඉල්ලා නොසිටි අතර ඔබේ පිලිතුරින් ඔබ මෙ කාරනාව සම්බන්ධව කරුනු කාරනා දන්න පුද්ගලයකු බැවු වැටහුන හෙයින් ඔබේ පිලිතුරින් මා යම්තාක් දුරකට සැහිමකට පත් වු බැවු පමනක් දන්වා සිටියෙමි. තවද ඔබ පවසන අකාරයට අනුන් සිතන ආකාරය ගැන නොසිතා තමන් සිතන ආකාරය ගැන සිතන ලෙස ඔබ මට පැවසුයේ කුමක් අරබය දැයි මා නොදනිමි. මිනිසුන්ගෙ සිතිවිලි උදෙසා දොරගුලු ලෑ නොහැකි බැවු මගෙ උගත් මිත්‍රයා හොදාකාරවම දන්නා බැවු මා දනිමි. සිතිවිලි කේන්ද්‍රිය ව යොමු කර ඒකාකර චින්තනයකට කොටු වු විට ලොවට මෙන්ම පුද්ගල මනසට ද සංවර්දනයක් නොමැති බැවු මා සිතමි. අනෙක මනසෙහි සධාරන කුතුහලයක් ඇති වුන විට ඒ සුව පත් කර ගැනීම වුදෙසා දන්නා කියන අයකුගෙන් එය අසා කුතුහලය නිවාරනය කර නොගෙන හිතින් විදව විදව සිටීමෙන් පලක් නැති බැවු මා තරයේ අදහමි.

    ඒ කෙසෙමුත් මාගේ කුතුහලය වුදෙසා ඔබෙන් සධාරණ පිලිතුරක් ලැබුන අතර ඔබගෙ දැනුමින් මා ද මා මෙන් අන් අයද දැණුවත් කිරීම සම්බන්දයෙන් නැවත වතාවක් ස්තුති වන්ත වෙමි.

    ReplyDelete
  13. "තවද ඔබ පවසන අකාරයට අනුන් සිතන ආකාරය ගැන නොසිතා තමන් සිතන ආකාරය ගැන සිතන ලෙස ඔබ මට පැවසුයේ කුමක් අරබය දැයි මා නොදනිමි."

    එයටමැ නිශ්චිත පිලිතුරක් දීම මගේ යුතුකම හෙයිනුත් මෙලෙස නැවත වතාවක් කොමන්ට් එකට ලිවීමට සිතුවෙමි.

    ප්‍රථමයෙන්ම කිව යුත්තේ මා ලියු අවසන් කොටසෙහි මා ඔබට කිසිම ආකාරයක දෝශාරෝපනාකාරයට ලක්කිරීමක් අදහසකින් නොවන බව කිවමනාය. සත්‍ය වශයෙන්ම කිසිවෙකු නොසිතන අංශ කෙරෙහි ඔබගේ කුතුහලාත්මක මනස යොමුකරනා ඔබ වැනි සහෘදයෙකු සම්බන්ධව මම විස්මිත වීමී.

    කෙසේ නමුදු ඔබගේ කුතුහලාත්මක චින්තනය යොමුකල යුතු වැදගත්ම දෙය වෙත ඔබ තවම අවධානය යොමු නොකල නිසාත් කාලයා විසින් එය ඔබ වෙත යොමු කරනා තෙක් මම නිහඩව ඔබ දෙස බලා සිටිමි. සුදුසු කල් එලබී ඇතැයි හැගී ගිය විගස මම ඔබට ආමන්ත්‍රණය කරමි.

    කුමක් නිසාද යත්, එය එතරම්ම ගැබුරු කාරණයක් හෙයිනුත්, එය පහදාදීමට මා ඉක්මන් වූවහොත් එය ඔබටමැ කරන අසාධාරණයක් සහ සමහරවිට ඔබ විසින් මා ගැන "කොහේද යන පිස්සෙක්" යැයි ඔබ විසින්මැ උපකල්පනය කිරීමට ඉඩ ඇති බැවිනි.

    ReplyDelete
  14. ස්තුති කසුන්. මා හට මාගේ ලිපි පිළිබදව අදහස් දක්වන්නන් දෝශාරෝපනය කරන්නන් කෙරෙහි ද්වේශ සහගතව බලන්න තරම් මා පටු අදහස් දරන්නෙක් නොවෙමි. ඔබ වැනි බුද්ධිමත් අදහස් දක්වන්නෙක් මා හා අදහස් බෙදා හදා ගැනීම පිළිබදව මම ඉමහත් සේ ප්‍රීති මත් වෙමි. ඉදිරියටත් මා හා රැදී සිට අදහස් බෙදා හදා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද ඔබගේ Blog අඩවිය හෝ Profile එක දැක ගැනීමට කැමැත්තෙන් සිටින අතර මා එය සෙවුවද අවාසනා වන්ත වීමි. ම්....එහෙනම් කාලයාට ඉඩදීලා බලා සිටිමු මට තේරෙයිද කියලා නේද? :D

    ReplyDelete
  15. සත්‍ය වශයෙන්ම මා කලින් කිවූ ආකාරයෙන් බ්ලොග් සටහනක් ආරම්භ කිරීමට මනස යොමූ කලද බලාපොරොත්තු නොවූ ආකාරයෙන් මිත්‍යා අන්ධකාරයෙහි ගිලුනු අපගේම ශ්‍රි ලාංකීය සහෘදයකු හරිමගට ගත යුතු හෙයිනුත් ඒ සම්බන්ධව එම බ්ලොග් සටහනට දිගින් දිගටම කොමන්ට් ලිවීම හේතුකොට ගෙන එය, ආරම්භය නැවත නැවතත් කාලයාට බාර දී බලා සිටීමට මා හට සිදුව තිබේ.

    කාලීන වැදගත්කමකින් යුත් එම බ්ලොග් සටහනේ අවසානයට මා යොමු කල කොමන්ට් එක තුලින්ම ඔබගේ ඔබගේ කුතුහලාත්මක චින්තනය යොමුකල යුතු වැදගත්ම දෙය වෙත ඔබ අවධානය යොමූකරවීම සම්බන්ධව පුංචි ඉගියක් ලබාදී තිබේ.

    http://www.srideshaya.com/sriblog/?p=265

    "පරිණාමයේ අවසන් උච්චතම අවස්ථාව වන දුර්ලභ මිනිසත් බව ලැබ, ඇදහිය නොහැකි අධි වේගයකින් ක්‍රියා කරන විස්මිත නියුරෝන ජාලාවකින් හෙබි මනූෂ්‍ය මොලයක් සතු වූ ඔබ, නැවත ඉපදීම නම් වූ නොනවතින ක්‍රියාවලියට විරාමයක් තැබිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදය අධ්‍යයනය......." යන්න වෙත ඔබගේ තාර්කිත වින්තනය යොමුකොට එය කොතෙක් දුරට ගැබුරු කාරණයක් දැයි ඔබගේ මනසින්ම විශ්ලේෂනය කරන්න.

    ඔබ අදහන දර්ශනය කුමක්දැයි මා නොදන්නා අතර එම කොම්න්ට් සටහන් දෙස උපේක්ෂා සහගතව ඔබගේ කා‍රැණික අවධානය යොමුකිරීමට උත්සාහගැනීම තුලින් ඔබට යම් සිත් රිදවීමක් වීමට ඇති සම්භාවිතාවය අවම කර ගතහැක.
    ස්තුතියි ඔබට...

    ReplyDelete

ඇත්තම කියන්න